ජගත් ගේ සතියේ සටහන - 135
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායක පාර්ලිමේන්තුවට අනිද්දා (22) කියාවි
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සඳුදා (21) කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දීමට නියමිත අතර එය අඟහරුවාදා (22) පාර්ලිමේන්තුව රැස්වූ විට කතානායක වරයා විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැ යි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 67 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබුණා. එම පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යවන බව සැප්තැම්බර් 02 දා නිවේදනය කළා.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විදේශ සංචාරයක යෙදී සිට පෙරළා ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 18 වැනිදා යි. එබැවින් එම ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඔහුට 21 වැනිදා ලබා දීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පියවර ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තුව 22 වැනි අඟහරුවාදා රැස්වූ විට කතානායකවරයා එය සභාවට ප්‍රකාශ කරනු ඇතැ යි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළා.
මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද සැප්තැම්බර් 24 හා 25 යන දිනවල විවාද කොට සම්මත කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.
මේ අතර "දිනන දකුණ", "ෆ්‍රී ලෝයර්ස්" නම්වලින් මාධ්‍ය නිවේදන නිකුත් කරන නීතිඥ ශිරාල් ලක්තිලක හා රංජිත් කීර්ති තෙන්නකෝන් ඇතුළු පිරිස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගෙන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 24 වැනිදා ෙපාල්දූව මංසංධිය අසළ, පාර්ලිමේන්තු පිවිසුමේ දී එයට විරුද්ධව විශාල උද්ඝෝෂණයක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කොට තිබෙනවා.
ඒකාබද්ධ ප්‍රකාශයට සුමන්දිරන් අත්සන් කරන්න බැහැ කියලා?
මේ පිළිබඳව එම සටන් මධ්‍යස්ථානය සංවිධානය කළ සාකච්ඡාවක් පසුගිය 17 වැනිදා කොළඹ ජානකී හෝටලයේ දී පැවැත්වුණා.
එයට සමගි ජන බලවේගය අජිත්. පී. පෙරේරා,මුජිබර් රහුමාන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අධිකරණයට ගොස් සිටින දයාසිරි ජයසේකර මහත්වරුන් සහභාගි වුණා. එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධනහා තලතා අතුකෝරාළ මහතා හා මහත්මියත් නිමල් සිරිපාල ද සිල්වා හා දුමින්ද දිසානායක මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෛද්‍යපී. වීරසිංහ. ලංකා නව සමසමාජ පක්ෂයේ පේෂල සේරසිංහ, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ එම්. එ. සුමන්දිරන්, නව ලංකා නිදහස් පක්ෂයේ සෙනාල් වෙල්ගම, ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු පිරිසක් එක්ව හිටියා.
විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව 24 වනදා පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසංධියේ දී කළු ඇඳුමින් සැරසී පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත්, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසුවද විරෝධතා පැවැත්වීමටත් මෙහිදී තීරණය වූ අතර ඒ වෙනුවෙන් පැමිණ සිටි පිරිස ඒකාබද්ධ ප්‍රකාශයකට ද අත්සන් තැබුවා.
ඒ අවස්ථාවේ නැඟී සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චු පක්ෂයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කොට නැහැ.
අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කිරිම සඳහා සහභාගිවන අය අතර හිටපු අගවිනිසුරුවරුන් වන නෙවිල් සමරකෝන් හාශිරාණි බණ්ඩාරනායක යන දෙදෙනා ඉවත් කිරීමට මූලිකවී කටයුතු කළ අය සිටින බැවින් තමා මෙයට අත්ස්න නොකරන බව ඔහු පවසා තිබෙනවා.
එසේ වුවද 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට තම පක්ෂය හා උතුරු නැගෙනහිර අනිකුත් මන්ත්‍රීවරුන් එයට විරුද්ධව ඡන්දය දෙන බව ද සුමන්දිරන් මහතා කියා සිටියා.
මෙම සාකච්ඡාවට සහභාගි වූ අජිත්. පී. පෙරේරා සහ මුජිබර් රහුමාන් යන මහත්වරු 24 පැවැත්වීමට යන විරෝධතා
ව්‍යාපාරය ගැන සජබ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කළා.

'උණු නිසා බොන්නත් බැරි.....' මෛත්‍රීලාගේ කිරි
එදින ම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවූ සජිත් ප්‍රේමදාස මහතා24 දා විරෝධතාවය ගැන සාකච්ඡා කොට තිබෙනවා. එහිදී තීරණය වී ඇත්තේ 24 වනදා පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල දී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හා සජබ මෙහෙයවීමෙන් එම විරෝධතාවය පැවැත්වීමට යි.
තමන් ඇරඹීමට ගිය විරෝධතා ව්‍යාපාරය සජබ නායකයා විසින් 'හයිජැක්' කිරීම නිසා 'ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයේ නායකයින් පත්ව සිටින්නේ අසීරු තත්වයකට යි.
'උණු නිසා බොන්නත් බැහැ කිරි නිසා අහක දාන්නත් බැහැ' යන පිරුළ සිහිකරමින් දැන් ඔවුන්ට සිදුවී තිබෙන්නේ 24 වනදා සජිත්ගේ නායකත්වය යටතේ විරෝධතාවයට සහභාගි වීමට යි.
මේ අතර හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවය පසුගිය 17 වැනිදා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සමගි ජන බලවේගය කටයුතු කොට තිබුණා. එය සංවිධානය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ සඳහා හිටපු ජනාධිපති හා එජප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ගොස් ඔහුට ද ආරාධනා කොට තිබෙනවා.
එය පිළිගත් වික්‍රමසිංහ මහතා එදින එම උත්සවයට පැමිණ අසුන් ගෙන සිටි අතර සජිත් ප්‍රේමදාස මහතා මඳක් ප්‍රමාද වී පැමිණියා. නායකයින් දෙදෙනා ම ඉදිරි පෙළ එක ළඟ අසුන් දෙකක සිට සුහදව කතාබහ කරනු දුටු සජබ හා එහි සිටි එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් බලාපොරොත්තු සහිතව එදෙස බලා සිටියේ එය පක්ෂ දෙකේ එකතුවීමේ සුබ ලක්ෂණයක් සේ හිතමින්.
සජිත් ප්‍රේමදාස මහතා එම උත්සවයෙන් පසු සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්වී ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍යයට පවසා තිබුණා.
එසේ වුවද සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත දක්වන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ පමණක් එක්වීමට යි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ගේ මතය වී තිබෙන්නේ විපක්ෂයේ සියලු පක්ෂ එකතු කර ගෙන ආණ්ඩුවට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන යා යුතු බවයි.
තම පක්ෂය දූෂණ චෝදනා සහ නඩු තිබෙන විපක්ෂයේ අය සමඟ එක්වීමට කැමැති නැතැ යි සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා ගේ මතයට දැඩි ලෙස විරෝධය දක්වනවා.
මේ තත්වය යටතේ එම පක්ෂ දෙක අතර එකමුතුවක් ඇතිවීමේ ඉඩකඩක් පේන්නේ නැතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය 12 වැනිදා අනුරාධපුරයේ දී පවත්වනු ලැබූ රැළිය පිළිබඳව පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් අතරත් පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයින් අතරත් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.
එයින් ප්‍රධාන තැනක් ගත්තේ පක්ෂයේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එම රැළියට ගෙන ඒමයි. දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවන ඔහු වේදිකාවට කැඳවාගෙන එනු ලැබුවේ කිහිප දෙනකු විසින් වත්තම් කර ෙගනයි. මෙය රූපවාහිනී නාලිකාවලින් දුටු මෙරට හා විදේශගත බොහෝ ශ්‍රී ලාංකිකයින් බලවත් සංවේගයට පත්ව ඇති බව ඔවුන් මුහුණු පොතේ පළ කොට තිබු සටහන්වලින් පෙනී යනවා. සමහරු ඒ ගැන දැඩි කෝපයකින් යුතුව අදහස් දක්වා තිබුණා.
අර්චුනා ගේ ආන්දෝලනාත්මක කතාව!?
මෙම රැළියේ ප්‍රධාන කථිකයින් වුණේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා පාර්ලිමේන්තු මන්ත්‍රී රාමචන්ද්‍රන් අර්චුනා යන මහත්වරුන්. මෙම කතාවලින් පොදුජන පෙරමුණට කිසිදු ප්‍රයෝජනයක් වී නැති බවයි බොහෝ පාක්ෂිකයින් පවසන්නේ.
තමා කොටියකු බව ප්‍රකාශ කරමින් අර්චුනා කළ ආන්දෝලනාත්මක කතාවට පිරිසක් අත්පොලසන් නැඟුවත් එල්ටීටීඊ විරෝධි පක්ෂයක් වන පොදුජන පෙරමුණ එය දරාගන්නේ කෙසේදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.
පසුගිය සඳුදා නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී ද මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ පොදුජන පෙරමුණ විසින් ඉදිරියේ දී පවත්වනු ලබන රැළිවලට විමල්, ගම්මන්පිල හා අර්චුනා
සහභාගි කර නොගැනීමට යි.
විමල්ට, උදයට, අර්චුනාට මින් පස්සේ පොපෙ ප්ලේස් නැතිලු?
මේ අතර තවත් පිරිසක් පසුගිය සතියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත ගොස් අනුරාධපුර පොදුජන පෙරමුණු රැළියේ දී අර්චුනා මන්ත්‍රීවරයා තහනම් කොට තිබෙන එල්ටීටීඊ ප්‍රවර්ධනය කිරීමට කතා කිරීමෙන් අපරාධමය වරදක් කොට ඇති බවට පැමිණිල්ලක් කොට තිබෙනවා.

