ජගත් ගේ සතියේ සටහන - 117

පසුගිය සිකුරාදා ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 331. 15 ක් ලෙස මහබැංකුව සටහන් කොට තිබුණා. එදින ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල වූයේ 323. 53 ක්.
අර්ථ ශාස්ත්‍රඥයින් පෙන්වා දෙන්නේ ඩොලරයේ අගය මෙතරම් ඉහළ ගියේ වසර දෙකකට පසුව බව යි. මීට පෙර 2023 වසරේ දෙසැම්බර් 05 වැනි දින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 323 ක් ලෙසයි වාර්තා වී තිබුණේ.
දැනට සති කිහිපයකට පෙර රුපියල් 309 මට්ටමේ පැවති ඇමරිකානු ඩොලරය ශත කිහිපයකින් ඉහළ ගොස් දැන් දිනපතා රුපියලට වැඩි මුදලකින් ඉහළ යාම ගැන අර්ථ ශාස්ත්‍රයින් අනතුරු අඟවනවා. ඔවුන් පවසන්නේ ඇමරිකානු ඩොලරය ඉදිරියේ දී රුපියල් 500 ක් පමණ වනු ඇති බව යි.
මැදපෙරදිග යුද තත්වය, හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීම නිසා ඉන්ධන ඇතුළු භාණ්ඩ නෞකා ගමන් අැනහිට තිබීම ලෝකයේ අනෙකුත් රටවලට මෙන් ම ශ්‍රී ලංකාවට ද දරුණු ලෙස බලපා තිබෙනවා.
එසේම අපනයන ආදායම හා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම විශාල ලෙස පහත වැටීමත්, වාහන ඇතුළු භාණ්ඩ සඳහා ආනයන වියදම ඉහළ යාමත්, මේ තත්වයට තවත් හේතු බවයි අර්ථ ශාස්ත්‍රඥයින් පවසන්නේ.
තමන්ගේ ම ආර්ථික දර්ශනයක් නොමැති ආණ්ඩුව ආනයන අපනයන ප්‍රතිපත්තිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් අනුව සිදු කිරීම නිසා මේ තත්වය උද්ගතව ඇති බව සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරනවා.
ආර්ථික විශ්ලේෂක ධනනාත් ෆ්‍රනාන්දු මහතා පවසන්නේ ආණ්ඩුවට ඉන්ධන ආනයනය සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම, රටේ විදේශ සංචිත පහත වැටීමට ප්‍රධාන හේතුවක් බවත් ඉදිරියේ දී විදුලි බිල, ජල බිල හා භාණ්ඩ මිල ගණන් විශාල ලෙස ඉහළ යනු ඇති බව යි.
ඇමරිකානු ඩොලරයේ මිල සිකුරාදා රුපියල් 331 ඉක්මවා යාමත් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරුන්, භාණ්ඩගාරයේ ලේකම්, මහබැංකු අධිපති ඇතුළු ආර්ථිකය මෙහෙයවන ප්‍රධානීන් කැඳවා පෙරේදා (15) දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.
එහිදී දිනෙන් දින විදේශ විනිමය සංචිතය අඩු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර ආනයනය කරනු ලබන වාහන සඳහා 50% ක අධිභාරයක් පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පෞද්ගලික පරිහරණයට ආනයනය කරනු ලබන වාහන සඳහා රේගු ආනයන බදුමත 50% ක අතිරේක බද්දක් මැයි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අයකරන බව මුදල් අමාත්‍යාංශය සෙනසුරාදා (16) නිවේදනය කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය අනුව මෙම අතිරේක බද්ද මාස තුනක කාලයක් සඳහා පමණක් වලංගු වෙනවා.
2026 මැයි 15 වැනි දින හෝ ඊට පෙර වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි (LC) විවෘත කර ඇති අයට මෙම බද්ද බල නොපාන බව ද එහි සඳහන් වෙනවා.
මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන අන්දමට පසුගිය කාලයේ වාහන ආනයනය කිරීම, වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක මුදලක් වැය වී තිබෙනවා.
පසුගිය වසර සඳහා රජයේ ප්‍රධාන ආදායම් මාර්ග වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව ඔවුන්ට ලබා දී තිබු ඉලක්ක ඉක්මවා ගොස් ආදායම් එකතු කිරීම නිමා භාණ්ඩාගාරයට විශාල මුදලක් ලැබීම ආර්ථිකය බිඳ නොවැටී තබා ගැනීමට ප්‍රබල හේතුවක් වී ඇතැ යි මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.
එහෙත් මැදපෙරදිග යුද්ධය දිගටම පැවතුණොත් හා ආනයනයන් සීමා වී ඉන්ධන මිල ඉහළ ගියහොත්, භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යෑමෙන් රටේ ආර්ථික අර්බුදය තවත් උග්‍රවීම වැළැක්විය නොහැකි යැයි ආර්,ික ශාස්ත්‍රඥයින් පෙන්වා දෙනවා.
රජයේ ආරක්ෂක හමුදා 2009 මැයි 18 වැනි දා උතුරේ යුද්ධය ජයගනිමින් LTTE ය පරාජය කිරීමෙන් පසු කලක් නිහඬව සිටි ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව පසුගිය දා තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තමිලග වෙට්රි කසාගම් පක්ෂයේ නායක බොලිවුඩ් නළු තලපති විජේ මහ ඇමති ධූරයට පත්වීමත් සමඟ යළිත් ඔවුන්ගේ ඊළාම් සිහිනය සැබෑකර ගැනීම සදහා ක්‍රියාකාරි වී සිටිනවා.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ලබාදිය යුතු බවට ෆෙඩරල් පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය, ලංකා කම්කරු කොන්ග්‍රසය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක්, 1976 මැයි 14 වැනිදා වඩුක්කොඩෙහි පවත් වනු ලැබු සමුළුවේදී යෝජනා සම්මත කර ගනු ලැබුවා.
මේ අනුව ඇමරිකාවේ ස්ථාපිත දෙමළ සංවිධාන, ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක්පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
වඩුක්කොඩඩයි යෝජනාවට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඔවුන් මැයි 14 වැනිදා වොෂිංටන් හිදී මෙම යෝජනාව අඩංගු ප්‍රකාශය අත්සන් කළ බව ටැමිල් නෙට් වෙබ් අඩවිය පවසනවා.
තලපති විජේ ගේ තමිලග වෙට්රි කසාගම් පක්ෂය ද 2024 ඊළාම් දෙමළ ජනතාව සඳහා ජනමත විචාරණයකට සහය දක්වමින් යෝජනාවක් සම්මත කරගෙන ඇති බව පවසමින් එම දෙමළ සංවිධාන මේ සඳහා තලපති විජේ මහ ඇමතිවරයාගේ සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව ද වාර්තා වෙනවා.
මේ අතර උතුරේ සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ද තමිල්නාඩු නව මහ ඇමති තලපති විජේ වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජබිමේ අයිතිය ලබා ගැනීම සදහා සහාය වන්නැ යි ඉල්ලා තිබෙනවා.
තමිල්නාඩු මැතිවරණයේ දී තලපති විජේ ගේ තමිලග වෙට්රි කසගම් පක්ෂය තම ජයග්‍රහණය කළ විට කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීමට හා දකුණු ඉන්දීය දෙමළ ධීවරයින් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කොට පියවරක් ගන්නා බව ද පවසා තිබුණා.
තමිල්නාඩුවේ මීට පෙර ඩී. එම්. කේ. සහ ඒ. ඩී. එම්. කේ. පක්ෂ බලයේ
සිටිය දී මැතිවරණවල දී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඉලක්ක කරගෙන කච්චතිව් හා ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව නොයෙකුත් පොරොන්දු දී තිබුණ ද බලයට පැමිණි පසු ඔවුන් ඒවා ගැන උනන්දුවක් දක්වා තිබුණේ නැහැ.
තලපති විජේ මහ ඇමතිවරයා ද ඒ මඟෙහි ම යනු ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.
ශ්‍රී ලංකාවේ රජය ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සමඟ සමීප සබඳතා පවත්වා ගෙන යන බැවින් තමිල්නාඩුවට ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට බලපෑම් කිරීමට ඇති අවස්ථාව අවම බව ද ඔවුන් පෙන්වා දෙනවා.
සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණු රජය 1972 දී නව අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරක්‍රියාත්මක කොට දැනට වසර 54 ක් ගතවී තිබෙනවා. එම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කෙරුණේ 1972 මැයි මස 22 දා යි.

කලින් පැවති පෙබරවාරි 04 වනදා ජාතික නිදහස් දිනය වෙනුවට එම ආණ්ඩුව සෑම වසරක ම මැයි 22 වනදා ජනරජ දිනය උත්සවාකාරයෙන් සමරණු ලැබුවා. එහෙත් 1977 බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන රජය විසින් 1978 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කොට ක්‍රියාත්මක කිරීමත් සමඟ ජනරජ දිනය අහෝසි වී යළිත් පෙබරවාරි 04 වනදා ජාතික නිදහස් දිනය සැමරීම ආරම්භ කළා.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි 22 වනදා ජනරජ දිනය සැමරීමට තීරණය කොට තිබෙනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී.
ඒ අනුව මැයි 22 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනරජ දින සමරු උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ හා මොහාන් සමරනායක යන මහත්වරුන් දේශන බවත්වන බව ද එම
පක්ෂය සඳහන් කරනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
මේ අතර යුද්ධය ජයග්‍රහණය කොට වසර 17 ක් පිරිම නිමිත්තෙන් රණවිරු අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන ජාතික රණවිරු සැමරුම් උළෙල මැයි 19 වනදා පස්වරු 4. 00 ට පාර්ලිමේන්තුව අබියස පිහිටි රණවිරු ස්මාරකය අසල දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙනවා.
මෙයට යුද, නාවුක, ගුවන් හමුදා හා පොලිසිය ද සිවිල් ආරක්ෂක බළකාය නියෝජනය කරමින් නිලධාරීන් සහ රණවිරු පවුල්වල ඥාතීන් 2769 ක් සහභාගි වෙන බව රණවිරු අධිකාරිය පවසනවා.
- ජගත් -
