උණුසුම් පුවත්කාලීන

දැයෙන් සමුගන්නා නලීන් ද සිල්වා මහැදුරාණෙනි, යළි ඉපැදෙනු මැන හෙළදිව් හි

මෙරට උගතුන්ට හා බුද්ධිමතුන්ට මා අන්තවාදියෙක්. විද්‍යාව පට්ටපල් බොරු පමණක් බව කියමින් දරුවන් මුළා කරන්නෙක් - නලීන්

නලීන් ද සිල්වා මහැදුරුවරයා අද නැත. හේ මියැදුණේ ය. ඒ ඉකුත් දෙවැනි දා ය. වෙසක් මහ ආරම්භ වී දවසකට පසු ය නලීන්ද සිල්වා නම් අති සූර මිනිසා දැයෙන් සමුගන්නා ලද්දේ. ඔහු ගේ හිඩැස පියවන්නට සමත් බුද්ධිමතකු මතු කවර දිනෙක මේ බිමේ ඉපැදේදැ යි යන්න නිශ්චිතව කිව නොහේ. කොහොම වුණත් අද අපට ඔහු ගැන තියෙන්නේ මතකයක් හා ඔහු ඉතිරි කරන ලද මතවාදයත් ය.

ශ්‍රී ලංකාවට ආදරය කළ ඔහු දාර්ශනිකයෙකි. දේශපාලන විශ්ලේෂකයෙකි. නිදහස් මත දරන්නෙකි. ඔහු ගේ මතවාද කෙරෙහි එල්ල කෙරුණු ගල්මුල් හෙට දවසේ මල් පොකුරු බවට පත්වේ ය යන්න අපගේ විශ්වාසය යි.

කොහොම වුණත්,

ඒ මතවාදය ගැලපෙන්නේ මේ රටේ මිනිසුන්ට නොවේ. මන්ද යත් මේ පොළොවේ මේ වන විට ඔළුවෙන් සිට ගෙන නිරුවත විදහමින් සිටින පිරිස සුළුපටු නොවන නිසාවෙනි.

මහාචාර්ය නලීන්ද සිල්වා ගැන බොහෝ දේ කතා කළ හැකිය. ඔහුගේ දැනුම ඒ අතර අංක එක ය. එමෙන් ම ඔහු දැරූ මතවාදය ගැන ය. කෙනකුට හේ නයාට අඳු කොළ බඳු ය. ඒ මේ රටේ පාලකයන්ට හා උගතුන් යැ යි කියන පිරිසට ය. ඊට අමතරව ඔහු තරුණ වියේ පටන් දැරූ මාක්ස්වාදී හිස්වලට ය මොවුන් සියලු දෙනා මහාචාර්ය වරයාට කෙණහිළිකම් පෑවේ ඔහු සතුව පැවති අදීනත්වය නිසා බව හැර අන් කිසිවක් ඇත්නම් ඔහුට සම කළ හැකි කිසිවකු නැති නිසයි. කෙනෙක් ඔහුට වඩා ඉහළට නැංගේ නම් ඒ දැනුමින් ඔහු පරයා හැකි නිසා නොවේ ය යන්න මගේ විශ්වාසය යි. එහෙම කෙනකු සොයා ගත නොහැකි වූවත් සමහර වියතුන් යැ යි කියනු ලබන්නන් හිතා ඉන්නේ තමාට වඩා ලොක්කකු මේ මිහිපිට නැති වගකි.

ඔහු හා සමාන හෝ ඔහුට වඩා දැනුමින් පිරුණු හිසක් මේ බිමේ නැතැ යි කිවහොත් උගතුන් විරසක වෙනවා සිකුරු ය. ඒත් ඇත්ත ඇති හැටියෙන් කීමට කිසිවකුටත් බිය විය යුතු නැති හෙයින් මහැදුරු ද සිල්වා කෙබන්දකු දැ යි මඳක් විමසා බලන්නට සුදුසු ම වේලාව මේ යැ යි හැඟේ.

තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුල්ලගේ නලීන් කුමාර ද සිල්වා යනු මහැදුරුවරයා ගේ සම්පූර්ණ නාමය වේ. ඔහු මෙලොව ජන්මලාභය ලබන්නේ 1944 ඔක්තෝම්බර් මස 20 වැනි දා ය. හේ දිවිසැරිය නිමා කරන්නේ එකුන් අසූ වැනි වියේ දී ය. තවත් මාස මාස පහකින් ඔහුගේ අසූ වැනි ජන්ම දිනය එළැඹීමට පෙර හේ අප අතරින් වෙන් විය.

පානදුරේ කෝවිලගොඩැල්ල නම් ගම පියසේ ඉපැදුණු  ඩැනියල් ද සිල්වා නම් විදුහල්පති තුමාණන්ට දාව,  ගුරුවරියක වූ ජයලින් පෙරේරා නම් මවුතුමිය විසින් මෙලොවට දායාද කළ උතුම් පුත්‍ර රත්නය යි නලීන් ද සිල්වා කුමරාණො. අට දෙනකු ගෙන් යුත් දරු කැළක ගේ වැඩිමලා නලීන් ය. පානදුර වෑකඩ ගමේ පිහිටි බෞද්ධාලෝක විදුහලින් අකුරු කළ හේ කොළඹ තර්ස්ටන් විදුහලෙන් ද රාජකීය විදුහලෙන් ද සිප් සතර හැදෑරී ය.

රාජකීය යේ ද්වීතිය අධ්‍යාපනය ලබද්දී ඔහු විදුහලේ සිංහල විවාද කණ්ඩායමේ හුන් චතුර කථිකත්වයයෙකින් හෙබි විවාදකයා යි. ඔහු වීරසූරිය පදක්කම දිනා ගන්නට සමතකු වූයේ ඔහුට හිමි වාග්චාතූර්ය නිසාවෙනි.

නලීන් ද සිල්වා උසස් අධ්‍යාපනයට සුදුසු කම් ලැබ ලංකා විශ්වවිද්‍යාලයෙන් 1967 දී පිටවූයේ ගණිතය පිළිබඳ ඉහළින්, මහ ඉහළින් දිනූ උපාධියක් සහිතව යි.

අනතුරුව හේ සසෙක්ස් සරසවියෙන් සෛන්දාන්තික භෞතිකවිද්‍යව පිළිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තේ විශ්වසම්භවවේදය පිළිබඳව යි.

සාපේක්ෂතා ප්‍රකල්පනය

සම්මානනීය මහාචාර්යවරයකු වන ජෝන් ඔකින්ස් යනු සසෙක්ස් හි හුන් නලීන් ගේ ගජ මිතුරෙකි. ආචාර්ය උපාධිය දිනූ නලීන් ඔහු මෙන් ම සසෙක්ස් සරසවියෙහි එකට පෑහුණු මිතුරන් දෙදෙනකු වූ  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න හා ආචාර්ය ශාන්ත ද අල්විස් යන ගජයන් සමඟ හෙළදිවට හෙවත් සිරලකට සම්ප්‍රාප්ත වී ටික කලකින් දේශපාලන වශයෙන් ක්‍රියාත්මක වූයේ ලංකා සමසමාජ පක්ෂය හා එක්වීමෙනි.  එහෙත් සමසමාජය තුළ ඇතිකර ගත් මතවාදී ගැටලු හේතුවෙන් ඔවුන් තිදෙනා සමසමාජ පක්ෂයට සමු දී නව සමසමාජ පක්ෂය ඇරඹීට මූලික වූවෝ ය.

නිදහස්ව විවෘතව කවරක් ගැන වුව හිතන්නට හුරු පුරුදු වූ ඔහු මාක්ස්වාදය හා විද්‍යාව  පිළිබඳ බලවත් සේ ප්‍රශ්න කරමින් 1986 දී 'මගේ ලෝකය' නමින් ග්‍රන්ථයක් ලියා ප්‍රතිස්ථාපිත බටහිර දැනුමෙහි පදනම පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කළේ ය. එහි ප්‍රචාරණය විවේචනය කරමින් ඔහු ලියූ මගේ ලෝකය, ලෝකය  පුරා කෙරනෙආධිපත්‍යය ක් ගැන පෙන්වා දෙයි.

ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු බොහෝ පඬියන්ට ගෝචර නොවී ය.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරයකු සේ සේවය කරද්දී එහි පාලනාධිකාරිය දඬු මුගුරු ඔසවන ලදි. ඔහු ඊට එරෙහිව හටන් කොට අවසානයේ කොළඹ සරසවියෙන් ඉවත් වූයේ ය. සැබවින් ම ඔහු ඉවත් කළේ ය? ඒ වන විට නලීන් ගේ වැඩිමහල් පුතණුවන්ට වයස හවුරුදු තුනකි. හේ දෙවැනි වරට රැකියාව අහිමි ඇදුරකු වී දස වසරක් ම දිවි ගෙවන්නේ බිරිඳ සතුව පැවති අප්‍රතිහත ධෛර්ය නිසා බව යි මහැදුරු නලීන් ලියූ ලේඛනයක සටහන් ව ඇත්තේ.

භෞතික විද්‍යාව පිළිබඳ මේ මහාචාර්යවරයා තමන් උගත් දේ පිළිබඳව අභියෝග එල්ල කරනා විට සෙසු උගතුන් යැ යි සම්මත පිරිස ඔහුට ගරහන්නට පෙළඹෙන්නේ ඔවුන් ගේ නූගත්කම රටට ලොවට පෙනවා දෙමිනි.

ඔහුගේ ම වචනවලින් කියනවා නම් '' මෙරට උගතුන්ට හා බුද්ධිමතුන්ට අනුව මා අන්තවාදියෙක්, මිථ්‍යා මත පතුරවන්නෙක්, දෙවියන් ඉන්න බව කියන්නෙක්, මාහැඟි විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරන මුග්ධයෙක්, විද්‍යාත්මක ක්‍රමය යනු හිතළු ගෙතීමක් පමණක් බවත් විද්‍යාව පට්ටපල් බොරු පමණක් බවත් කියමින් දරුවන් මුළා කරන්නෙක්, විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරමින් හදවත් සැත්කමක් කර ගත් බොරු කාරයෙක්, දේශප්‍රේමය හිසින් ගත් තක්කඩියෙක්, ගණිතය, විද්‍යාව, දර්ශනය, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, බුදුදහම ගැන කිසිවක් නොදැන, මූලාශ්‍ර නොදී විකාර කියවන්නෙක්. මා උගතකු හෝ බුද්ධිමතකු හෝ නොවීම ගැන මා කුමක් කරන්න ද?" නලීන් ද සිල්වා මේ අදහස් පළ කරන්නේ කෙතරම් විවෘත මනසකින් ද?

මහාචාර්ය නලීන් ද සිල්වා වෙත ඉතා සුහද ආකල්ප දැරුවෝ කීප දෙනෙකි. ඔවුනතර දිවයින නිර්මාතෘ එඩ්මන්ඩ් රණසිංහයන් හා එවක  දිවයින ඉරිදා සංග්‍රහයෙහි ගාමිණි සුමනසේකර (පසුව ප්‍රධාන කතුවරයා)   දිනපතා දිවයින පුවත්පතෙහි විශේෂාංග කතුවරයා වූ කිත්සිරි නිමල් ශාන්තයන් (පසුව ලක්බිම දිනපතා පුවත්පතේ කතෘවරයා) මෙන් ම දි අයිලන්ඩ් පත්තරේ ගාමිණි වීරකෝන් ද ප්‍රමුඛයෝ ය.

ඔහු මෙහිලා උපයෝගි කර ගන්නා ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සමඟ අරඹන ලද චින්තන පර්ෂදය යි. කොළඹ සිසුන් සමඟ සබඳතා පැවැත්වූ මොරවු සරසවි‌යේ සිසුවකු වන පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් ද ඔවුන් හා අත්වැල් බැඳ නලීන් ගේ මතවාදය වෙනුවෙන් දිවා රෑ කැපවූහ. ඒ කැපවීම එසේ මෙසේ දෙයක් නොවී ය. මරණ සහතිකය අත දරා කරන ලද මිල කළ නොහැකි ත්‍රාසජනක මෙහෙයයකි.එවක කොළඹ සරසවියේ භීෂණය වපුලමින් සෙසු සියලු ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට තුච්ච අයුරින් පහර දුන් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ම්ලේච්ඡ හැසිරීම් හේතුවෙනි ‌නලීන් ගේ සිසු කැළ මරණ සහතිකය අතදරා ගෙන තම මතය වෙනුවෙන් පෙනී සිටියේ.

අප මෙහි කලින් සඳහන් කළ පරිදි එවක විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයකු වූ නලීන් ගේ ක්‍රියාකාරකම් නොඉවසූ පාලනාධිකාරිය හේ සේවයෙන් පහ කරන ලදි. අධිකරණය හමුවට ගිය නලීන් තමනට සිදුකරන ලද අකටයුත්ත ගැන කීයේ ය. ප්‍රතිඵලය වූයේ හිඟ වැටුප් සමඟ ඔහු යළි සේවයේ පිහිටුවීමට නියෝගයක් නිකුත් වීම යි.

නලීන් ද සිල්වා සිය ජාතික චින්තනය නම් අනගි මතවාදය රටට ලෝකයාට කියන්නට උපයෝගි කරගත්තේ දිවයින පුවත්පතෙහි තීරු ලිපි පෙළකිනි. ඔහු සිය අදහස් ජන සමාජයට පොම්ප කරන්නට ගත් වෙහෙස මහන්සිය සුළුපටු නොවේ. ඔහු වටා පිරිසක් ගොනු වූහ. කොළඹ විශ්වවිද්‍යාලයේ දී ඔහු ගේ සිසුන් පිරිස අතර ගෙවිඳු කුමාරතුංග, දිලිත්  ජයවීර, අනූප පැස්කුවෙල් වැන්නන් ය. අනූප හා ගෙවිඳු මෙන් ම මොරටු සරසවියේ ඉංජිනේරු උපාධිය ලද පාඨලී චම්පික රණවක වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ය. දිලිත් මව්බිම පක්ෂයේ නායකයා යි.

මීට අමතරව තවත් සෑහෙන පිරිසක් ආචාර්ය ගුණදාස අමරසේකරයන් ගේ මඟ ඔස්සේ පියනඟමින්  සවිමත් වූ ජාතික චින්තනය හා අත්වැල් බැඳ සිටියහ.

නලීන් ද සිල්වා යනු කිව යුත්ත කෙළින් ම කියන, ලිය යුත්ත කෙළින් ම ලියන, කළ යුත්ත කෙළින් ම කරන්නට දෙපාරක් හිතපු චරිතයක් නොවේ. ඔහු සතුව පැවති ඍජු ප්‍රතිපත්ති මෙරට උගත් යැයි සම්මත සමාජයට වහ කදුරු වූයේ එනිසාම ය..

කොළඹින් කැලණිය සරසවියට සංක්‍රමණය වන නලීන් ද සිල්වා එහි විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය දරද්දී කරන ලද මාහැඟි කාර්යයන් ගණනාවකි.

වකුගඩු රෝගයට ගොදුරුව පීඩා විඳින මහත් පිරිසක් රජරට ජනසමාජය ද රෝගී කළේ ය. අද ද තත්ත්වය එසේමැ යි. මහැදුරු ද සිල්වා ගේ උපදෙස් අනුව එහි රසායන විද්‍යා අංශ ප්‍රධානී ප්‍රියානි පරණගම මහත්මිය ප්‍රමුඛ කොට ගත් විද්‍යාඥයින් පිරිසක් සිසු සිසුවියන් ද සමඟ රජරට අධ්‍යයනයක් කළහ. වසරක් තිස්සේ කරන ලද පරීක්ෂණ අනුව ඔවුන් අනාවරණය කර ගත්තේ ඒ වටිනා බිමෙහි මෙන් ම ගස්වැල්, මෙන් ම බීමට ගන්නා දිය බිඳ ද, කෑමට ගන්නා සහල් ඇතුළු අනෙකුත් ආහාර වර්ගවල ද ආසනික් බහුල ලෙස ඇති බවයි.

නලීන් ගේ විද්‍යාඥයන් කණ්ඩායම ඉදිරිපත් කළ මේ වාර්තාව මහත් සේ ආන්දෝලාත්මක ලියවිල්ලක් බවට පත් විය. ඔවුන් කළ ඒ මාහැඟි පර්යේෂණය ගැන හරස්වූවෝ අති මහත් ය. එහෙත් ඒ විද්‍යාඥයන් පිරිස පෙන්වා දුන් කරුණු කාරණා අද දවස වන විට කෙතරම් දුරට සත්‍යවී ඇද්ද?

අද නලීන් නම් හෙළදිව් හි ජන්මය ලද ඒ මහා ප්‍රාඥයා අපට අහිමි ය. හෙට ඔහුගේ නිසසල දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවනු ඇත.

නලීන්ට ආදරය කළ ගරු කළ හෙළයේ පිරිසක් ද මේ බිමේ සංවර්ධනය උදෙසා අප අපේ ම අදහස් උදහස් අනුව කටයුතු කිරීමෙන් තොරව බටහිරයනට ගැති ව ඔවුන්ගේ අවවාද උපදෙස් පිළිගැනීම අපේ ම විනාශවට හේතු කාරණා බව අභීතව පෙන්වූ ඒ දයාබර මිනිසා වෙනුවෙන් ආගමික වත් පිළිවෙත් පවත්වා චාරිත්‍රානුකූලව නිවන් සුව පතන්නට කටයුතු කරමින් සිටිති.

නිදහස් නිවහල් චින්තනයකින් මිස මේ රටේ බෞද්ධ සංස්කෘතියට අනුගතව අප අප උදෙසා කටයුතු කිරීමෙන් තොරව අපට හිමිවන කිසිවක් නැති බව පෙන්වමින් ජාතික චින්තනය මේ පොළොවේ පැළකරන්නට කැස කැවූ ඒ උදාර මිනිසාට අපට කළ හැකි දේ ඔහු පෙන්වා දුන් මඟ අනුව යෑම යි. බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය අකාමකා දැමීමට නිබඳව ම ක්‍රීයාත්මක වන පරදේශක්කාරයින්ගේ කුමන්ත්‍රණ අතොරක් නැතිව ක්‍රියාත්මක කරන්නට මේ බිමේ ම උපන් පරගැත්තන්ට යටවුණොත් ඉතින්......

යාන්ත්‍රික විද්‍යාව, කොන්ටම් යාන්ත්‍රණය, සාපේක්ෂතාවාදය වැනි විෂයන් සම්බන්ධයෙන් මෙරට සිටි මුල් පෙළේ විද්වතෙක් වූ ඔහු අනතුරුව ඒ සියල්ලට හරස් මත ඉදිරිපත් කළෝ අධිරාජ්‍යවාදී වියගසින් මිදෙන්නට නම් අපට ඇවැසි අපේම දැක්මක් ය යන්න රටට ඒත්තු ගැන්වීම උදෙසා ව. මේ මිනිසා නිබඳව ම නිතර නිතර පෙන්වා දුන් කාරණාව එයයි. ඒත් බටහිරයන් ගේ සියලු මත සැබෑයැ යි තකනා මේ රටේ බහුතරයක් දනන් මංමුළා වැල් පෑගී සිටින්නන් බව ඉතා පැහැදිලි ය.

තමා හදාරණ ලද විද්‍යාව පිළිකෙව් කරන්නට තරම් ඔහු කොන්ද පණ ඇති බුද්ධිමතකු වීම කෙතරම් නම් ආඩම්බරයට කාරණයක් ද?

"මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තා. ඒ සාර්ථක වී නැහැ. උගතුන් හා බුද්ධිමතුන් මා ප්‍රතික්‍ෂෙප කළා. මා සෑම අතින් ම පාහේ අසාර්ථක පුද්ගලයෙක්. මා තව අවුරුදු කිහිපයක් ජීවත් වේවි. මා මිය ගිය පසු මා අමතක කරන්න. මා පිටරටක මිය යනවා නම් හොඳයි. එවිට ඇතැම් උගතුන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් බොරුවට මුහුණ පෙන්නීමට මගේ මළගමට එන එකක් නැහැ.

ඒත් නැවතත් මෙරට ඉපදීම මගේ පැතුමයි.

ඒ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම සඳහා උත්සාහ කිරීමට ය.

හිතාදර මහැදුරාණනී!

නැත. නැත... ඔබ අසාර්ථක නැත. හෙට දවසේ සමස්ත දේශය ම ඔබේ මත අගය කරාවි. හරියට ම කිව්වොත් අනගාරික ධර්මපාල තුමාණන්ට හතුරු වූවන් සේ.... සත්‍යය ජයගන්නවා ම යි. නිවහල් නිදහස් සිතිවිලිවලින් තොරව කෙසේ නම් කිසිවකුට යහපතක් වේ ද?

පුතුන් දෙදෙනකු හා දියණියක ගේ අප්පච්චි වූ ද මියන්මාරයේ තානාපතිවරයා සේ ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ සභාපති ධූරය දැරුවා වූ ද නලීන් ද සිල්වා විද්වතාණන් වෙනුවෙන් හෙළදිව සාතිශය සංවේගය!!

මහැදුරු නලීන් ද සිල්වා නම් අග්‍රගන්‍ය මිනිසාණෙනි,ඔබට නිවන් සුව!!!!

 - සුගතපාල මැන්දිස් -

       2024. 05. 05.