උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

දෙමළ බස් වහරණ පක්ෂ හයේ සන්ධානයෙන් ආණ්ඩුවට ඉල්ලීම් 4 ක්

ජගත් ගේ සතියේ සටහන -  126

දෙමළ භාෂාව කතාකරන ජනතාව නියෝජනය කරන දෙමළ හා මුස්ලිස් දේශපාලන පක්ෂ හයක් එක්වී පසුගිය සතියේ නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු කච්චෙ (ITAK) ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (SLMC) සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය ( ACMC) ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) දෙමළ ප්‍රගතිශීලි සන්ධානය (TPA) සහ ලංකා කම්කරු කොන්ග්‍රසය (CWC) මෙසේ සන්ධානගත වී ඇත්තේ උතුරු නැගෙනහිර හා මලගම් (කඳුකර) ජනතාව මුහුණ දෙන පොදු ගැටලු වලදී පොදු වේදිකාවක් ඔස්සේ එක්ව සටන් කිරීම අරමුණු කර ගනිමින්.

පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සිටින සුළුතර පක්ෂ 6 ක නායකයින් හා ජ්‍යෙෂ්ඨයින් මෙම නව සන්ධානයට එක්ව සිටිනවා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ශාක්‍යයන් රාසමානික්කම්, හිටපු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසක් නව සන්ධානයේ අරමුණපැහැදිලි කිරීම සඳහා මාධ්‍ය හමුවක් ද පැවැත්වූවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂ නායකයින් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදිඋද්දීන්, මනෝ ගනේෂන්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ලංකා කම්කරු කොන්ග්‍රස නායක ජීවන් තොණ්ඩමන් සිය දේහපාලන සීමා පසෙකලා මෙම එක්බද්ධ සන්ධානයට එක්වීම බොහෝ දෙනා ගේ කතා බහට ලක් වුණා.

මෙම පක්ෂ හයේ සන්ධානය පොදු වේදිකාවක් හරහා ආණ්ඩුවෙන් ඉල්ලි සිටීමට යන්නේ ප්‍රධාන ඉල්ලීම් 4 ක්.

ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණ වහාම පැවැත්වීම,

සියලු ප්‍රජාවන්ගේ අයිතීන් තහවුරු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම,

උතුරු නැගෙනහිර සම මලයගම් ජනතාව මුහුණ දෙන ඉඩම් ප්‍රශ්නයට විසඳුම් සෙවීම

සුළුතර ජන කොටස්වලට බලපාන සංවේදී දේශපාලන ගැටලු වලට අන්‍යෝන්‍ය සංවාදයක් මඟින් විසඳුම් සෙවීම.

මෙම නව සන්ධානයට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවකට අයත් මන්ත්‍රීවරුන් 18 කු සිටිනවා.

වර්තමානයේ ජාතික ජන බලවේගය ආණ්ඩුවට උතුරු නැගෙනහිරි හා මලයගම් (කඳුකර) ප්‍රදේශවල විශාල බලයක් හිමිවී තිබෙනවා. එමනිසා වෙනදා මෙන් තම ඉල්ලීම් සඳහා ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ ශක්තියක් විපක්ෂයට නැහැ. එසේම ආණ්ඩුව උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු රාශියක් සිදුකොට තිබීම හා වතුකම්කරුවන් ගේ වැටුප් වැඩි කිරීම හා ඔවුන්ට නව නිවාස තනාදීමට පියවර ගැනීම එම පළාත්වල ජනතාව ආණ්ඩුවට සහාය දක්වනවා.

මේ තත්වය යටතේ තනි තනිව, පක්ෂ වශයෙන් ජනතාව අතරට යාමෙන් ඵලක් නොමැති බව වටහාගෙන සිටින සුළුතර පක්ෂ මෙම නව සන්ධානය ඔස්සේ සිය ඉල්ලීම් දිනා ගැනීමට යන බව දේශපාලන විචාරකයින් පවසනවා.

නව සන්ධානයේ අරමුණු පැහැදිලි කරමින් රවුෆ් හකීම් මහාත ප්‍රකාශ කළේ අපි ගොඩනඟන්නේ ආණ්ඩුවට විරුද්ධව නොව විපක්ෂයට පක්ෂ සංශෝධනයක් නොවන බවයි.

නව සන්ධානයේ ප්‍රධාන ඉල්ලීමක් වී තිබෙන්නේ වහාම පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස ආණ්ඩුවට බලකිරීම යි.

එහෙත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ පසුගිය ආණ්ඩු කාලයේ දී පළාත් සභා මැතිවරණ කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා පළාත් සභා ඡන්ද විමසීම් පනත පාර්ලිමේන්තුව මඟින් සංශෝධනය කිරීම නිසයි.

ආරම්භයේ සිට ම පළාත් සභා මැතිවරණ පැවැත්වුණේ දිස්ත්‍රික් අනුපාත ඡන්ද ක්‍රමය අනුව බැවින් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.

එහෙත් පසුගිය යහපාලන ආණ්ඩුව විසින් පළාත් සභා පනත සංශෝධනය කොට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් යටතේ පළාත් සභා පැවැත්වීමට තීරණය කළා. ඒ අනුව ඉදිරිපත් කළ පනත් සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර වර්තමානයේ පළාත් සභා මැතිවරණ ඉල්ලා සිටින දෙමළ හා මුස්ලිම් පක්ෂ එම සංශෝනයට පක්ෂව ඡන්දය දුන්නා.

එමෙන් ම නව සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ද ඉල්ලා සිටිනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් දෙමළ ජනයාගේ ජනවාර්ගික ප්‍රශ්නයට පළාත් සභාවලට එහා ගිය විසඳුමක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. එවැනි තත්වයක් තුළ පළාත් සභා මැතිවරණය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලා සිටීම පරස්පර විරෝධී යැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

තවත් සමහරුන් පවසන්නේ මෙම දෙමළ, මුස්ලිම් පක්ෂ හයේ එකමුතුව ඉන්දියාවේ උවමනාවට පිට පිහිටුවා ගනු ලැබූ එකක් බවයි. ඉන්දීය ආණ්ඩුව ද සෑම විටක ම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණ ඉක්මනින් පවත්වන ලෙසයි.

දෙමළ බස් වහරණ පක්ෂ හයේ සන්ධානයේ අරමුණ

එහෙත් දැන් පවතින ඡන්දක්‍රමය හේතුවෙන් පළාත් සභාමැතිවරණ පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. පළාත් සභා ඡන්ද ක්‍රමය පිළිබඳ රජය විසින් පාර්ලිමේන්තු කාරක සභාවක් ඇමති විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කොට ඇතත් එම වාර්තාව හෝ  පාර්ලිමේන්තුවට ලැබී නැහැ.

එම කාරක සභා වාර්තාව එළියට දමා පළාත් සභා මැතිවරණ පෑවැත්වීමට ආණ්ඩුවට හදිසියක් නැති බව ද පෙනෙනවා. ඒ පවතින දේශපාලන වාතාවරණය අනුව පළාත් සභා මැතිවරණ පැවැත්වුව හොත් ආණ්ඩුවට අවාසි තත්වයක් උද්ගත හැකි නිසා යැයි දේශපාලන විචාරකයින් පවසනවා.

දෙමළ හා මුස්ලිම් පක්ෂ හයේ නායකයින් සන්ධාන ගතවූ බොහොමයක් ඉකුත් දශක කිහිපය තුළ මීට පෙර පැවති සෑම ආණ්ඩුවකට ම සම්බන්ධ වී ඇමති ලබාගෙන තිබුණා. එහෙත් මන්ත්‍රීවරුන් 159 ක් සිටින ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එක්වීම සඳහා කේවල් කිරීමට ඔවුනට අවස්ථාව ලැබුණේ නැහැ. මේ නිසා දැන්  ඔවුන් සන්ධානයක් ලෙස ආණ්ඩුවට සහයෝගය ලබා දී තම අවශ්‍යතා සපුරා ගැනීමට දරන උත්සාහයක් ලෙස මෙම නව සන්ධානය හැඳෝන්විය හැකි බව ද දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

⋆⋆⋆      ⋆⋆⋆      ⋆⋆⋆    ⋆⋆⋆

 ශ්‍රේෂ්ඨාධිකරණයේ  හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව පවසමින් විපක්ෂය, නීතිඥ සංගමය, හා අධිකරණ සේවා  සංගමය ඇතුළු සංවිධාන රැසක් එයට දැඩි විරෝධය පළ කොට තිබෙනවා.

එහෙත් ආණ්ඩුව මේ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් සිදුකොට නැති අතර ඒ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් ද සිදු කොට නැහැ.

මේ ගැන පසුගිය සතියේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඒ පිළිබඳ තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශයට පවරා ඇති බව යි.

සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් හා අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා වල නිරත නිලධාරීන් විශ්‍රාම යන විට එම තනතුරු වලට පළපුරුදු අය සෙවීම ප්‍රශ්නයක් බැවින් එවැනි අංශව අයට සේවා දිගුවක් ලබා දිය යුතු බවට ආණ්ඩුවට ඉල්ලීම් ලැබී ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කළා.

විනිශ්චයකාරවරුන්ට සේවා දිගුවක් ලබා දෙන්නේ නම් රාජය සේවයේ අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටින අනෙකුත් නිලධාරීන්ට ද එවැනි සේවා දිගුවක් ලබාදිය යුතු බව රාජ්‍ය සේවයේ සමහර වෘත්තීය සමිති දැනටමත් රජයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ ආණ්ඩුවට හිතවත් තීන්දු ඔවුන්ගෙන් ලබා ගැනීමේ අරමුණෙන් යැ යි දයාසිරි ජයසේකර, චාමර සම්පත් දසනායක මහත්වරුන් ඇතුළු විපක්ෂය චෝදනා කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දැනට සති දෙකකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙනයන වැඩ පිළිවෙලට විරෝධය පළ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා විපක්ෂයේ සියලුම පක්ෂවල රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා තිබුණා.

 විනිසුරු කාල දීර්ඝයට එරෙහි නාමල්ගේ ලිපියට සජිත්ගෙන් ප්‍රතිචාර 23 වැනිදා විපක්ෂයේ පක්ෂවල සාකච්ඡාවක්

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා එම ලිපියට කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ. නාමල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස මහතාට දුරකතන ඇමතුමක් දී තමා එවූ ලිපිය අනුව විපක්ෂයේ රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ වන විට යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක යෙදී සිටි සජිත් ප්‍රේමදාස මහතා තමා කෙළඹින් පිට සිටින බවත්, කොළඹ පැමිණි පසු 23 වනදා සියලු පක්ෂවල රැස්වීමක් කැඳවන බව පැවසූ බවත් වාර්තා වෙනවා.

 ඒ අනුව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීමට යාමේ ප්‍රශ්නය ගැන සාකච්ඡාවකට ජූලි 23 වැනිදා පස්වරුවේ විපක්ෂ සියලු පක්ෂවල නායකයින්ට ලිපියක් මඟින් දන්වා යවනු ලැබුවා.

රනිලුත් එනව ලු

තවද මෙම රැස්වීමට සහභාගි වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමල් රාජපක්ෂ මහතා කළ විමසිමකට පවසා තිබෙන බව මල්පාර කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක කාර්යාලයේ මෙම රැස්වීමට සහභාගි වීම සජබ හා එජප එකමුතුව පිළිබඳ ‍ව පැවැත්වෙන සාකච්ඡාවලට ශක්තියක් වනු ඇතැ යි පක්ෂ දෙකේ එකමුතුව අපේක්ෂා කරන පාක්ෂිකයින් ප්‍රකාශ කරනවා.

මාලිමා ආණ්ඩුවට දෙවසරක් පිරෙද්දී සජබ යෙන් රට පුරා ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක්

මේ අතර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන සැප්තැම්බර් මාසයේ ආණ්ඩුවට විරුද්ධව රටපුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද සමගි ජන බලවේගය තීරණය කොට ඇති බව ද වාර්තා වෙනවා.

 - ජගත් -