උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංග

දේශපාලනඥයකු මෙන් කතා කරන කර්දිනල්වරයා

කීර්තිමත් ඉන්දීය පුවත්පත් කලාවේදී එම්. ආර්. නාරායන් ස්වාමි විසිනි

ඔහු කාදිනල්වරයෙක් නේද? ඔහු සෑම විට ම දේශපාලනඥයකු මෙන් කතා කරන්නේ ඇයි?

පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත්, නැතහොත් කෙටියෙන් මැල්කම් රංජිත් ලෙස හැඳින්වෙන කාදිනල්වරයාව විස්තර කිරීමට මීට වඩා හොඳ වචන කිසිවකුට සොයාගත නොහැකි ය. තව ද, ඒ වචන කියැවුණේ, කොළඹ කතෝලික සමාජයේ ගෞරවනීය සාමාජිකයෙකුගෙනි.

බොහෝ දුරට රජය තමන්ගේ පාර්ශ්වයේ සිටින බවක් පෙනෙන්නට තිබෙන නිසා, 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස ඇත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ය යන්න පිළිබඳව තමන් දක්වන නොනවතින ආක්‍රමණශීලී හැසිරීම කෙරෙහි දැඩි ජන අප්‍රසාදයක් පවතින බව කාදිනල්තුමන් වටහාගෙන නොමැතිවා විය හැකි ය.

260 කට වැඩි පිරිසකට ජීවිත අහිමි කරමින් සහ සිය ගණනකට තුවාල සිදු කරමින් 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ එම දරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තමන්ගේ ම මතයන් ඉදිරිපත් කරමින් ඇත්ත වශයෙන් ම, ඔහු  මාධ්‍ය හමුවේ නිතිපතා පෙනී සිටින්නේ තනිව ම නොව, අවම වශයෙන් තවත් කතෝලික පූජකවරුන් දෙදෙනෙකු සමග ය. නමුත්, මෙම ආක්‍රමණශීලී මතවාදයේ මූලිකයා වන්නේ මැල්කම් රංජිත් ය.

පාස්කු ඉරිදා සිදු වූ එම නින්දිත ප්‍රහාරයේ වගකීම අයිඑස් (Islamic State) සංවිධානය වහාම භාර ගත්තේ ය. එම ප්‍රහාරය ඔවුන් විසින් සිදු කළ බව කිසිවෙකුත් අභියෝගයට ලක් කරන්නේ නැත. ගැටලුව ඇත්තේ, යම් අයකුට මෙම ලේ වැගිරීම සිදුවීමට අවශ්‍යව තිබුණේ ද, එසේ නම් ඔවුන් එම ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ව ඒ සඳහා පෙළඹවූයේ ද යන්න පිළිබඳව ය.

ශ්‍රී ලංකාව තුළ සහ විදේශයන්හි සිදු කරන ලද පරීක්ෂණ මාලාවකින් හෙළි වී ඇත්තේ අයිඑස් සංවිධානය තනිවම ක්‍රියා කර ඇති බව යි. මෙම නිගමනයට පැමිණි අය අතර එක්සත් ජනපදයේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (FBI) සහ බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ් (Scotland Yard) ආයතනය ද වේ.

කෙසේ වෙතත්, මැල්කම් රංජිත් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමේ අරමුණින් අයිඑස් සංවිධානයට අමතරව ශ්‍රී ලංකාවේ වෙනත් පාර්ශවයන් ද මෙම බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීමට වගකිව යුතු බව යි. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අයෙකි.

ඔහුගේ මෙම අදහස්, ගෝඨාභයගේ හිතවතකු ලෙස ප්‍රකට වෘත්තීය බුද්ධි නිලධාරියෙකු වූ සුරේෂ් සල්ලේ සහ එම ඉස්ලාමීය ත්‍රස්තවාදීන් අතර හමුවක් සංවිධානය කළේ තමා බවට චෝදනා කළ යුරෝපයේ දේශපාලන රැකවරණය ඉල්ලමින් සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයකු වන මවුලානා අසාද්ගේ ප්‍රකාශයන්ට සමාන වේ.

මෙම චෝදනා සනාථ කිරීම සඳහා මවුලානා හෝ මැල්කම් රංජිත් යන දෙදෙනාගෙන් කිසිවකුත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. මවුලානා ගැන සැලකීමේ දී, වසර ගණනාවක් තිස්සේ ඔහු හඳුනන හිටපු දෙමළ කැරලිකරුවන් විසින් ඔහුගේ ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කර තදින් විවේචනය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරෙකු වන ගෝඨාභය, පාස්කු ප්‍රහාරයෙන් පසුව පැවැති මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබමින් බලයට පත් වී ය. පසුව ඔහු සුරේෂ් සල්ලේව මෙරට ප්‍රධාන බුද්ධි ඒජන්සිය වන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා ලෙස පත් කළේ ය.

කලක් හමුදා බුද්ධි අංශයට නායකත්වය දුන් සල්ලේ වැනි නිලධාරියෙකුට ශ්‍රී ලංකාවේ අන්තවාදී ඉස්ලාමිකයින් හඳුනා ගැනීමට මවුලානා වැනි ආධුනිකයකුගේ සහාය අවශ්‍ය වූවා යැයි පැවසීම බොහෝ දෙනෙකුට හාස්‍යජනක කරුණකි.

තවද, බෝම්බකරුවන් වීමට සිටි පිරිස සමග පැවැති සංවෘත සාකච්ඡාවකින් පසුව, පිටත රැඳී සිටි මවුලානා වෙත පැමිණි සල්ලේ, එම අතිශය රහසිගත සාකච්ඡාවේදී සිදු වූ දේ පැවසූ බව කියන කතාව ද එසේ ම ය.

මෙම ප්‍රකාශයන් දෙක ම තර්කයට සහ සාමාන්‍ය බුද්ධියට පටහැනි ය.

සල්ලේට චෝදනා එල්ල වී ඇති දේ ඔහු නොකළ බව මෙයින් අදහස් නොවේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සැබවින් ම ගෝඨාභය සහ සල්ලේ සිටි බව විශ්වාස කිරීමට නම්, ඊට ශක්තිමත් සාක්ෂි තිබිය යුතු ය. නමුත්, මෙතෙක් එවැනි කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

සැබැවින් ම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී අසන්නට ලැබුණු වාචාල කතා හැරුණු විට, ගෝඨාභය සහ සල්ලේට එරෙහිව ශක්තිමත් නෛතික නඩුවක් ගොඩනැගීමට තරම් ප්‍රමාණවත් එකදු හෝ සාක්ෂියක් ප්‍රසිද්ධියට පත්වී නොමැත.

චෝදනා සහ කටකතා මගින් දේශපාලන නාට්‍ය නිර්මාණය කළ හැකි නමුත්, අධිකරණයක් හමුවේ ඒවා තහවුරු කළ නොහැකි ය.

එබැවින්, ඇසිය යුතු ප්‍රශ්නය නම්: කුමන්ත්‍රණයක් පැවති බවත්, අයිඑස් සංවිධානයේ සාමාජිකයින්ට ඔවුන් කළ දේ කිරීමට යම් අයෙකුගේ උදව් සහ දිරිගැන්වීම් අවශ්‍ය වූ බවත් මැල්කම් රංජිත් දන්නේ කෙසේ ද?

අන් අය නොදකින කිසියම් රටක බුද්ධි තොරතුරු වාර්තාවක් නැරඹීමට ඔහුට අවස්ථාව ලැබී තිබේ ද? FBI, ඕස්ට්‍රේලියානු හෝ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නොදන්නා දෙයක් කාදිනල්වරයා දැන සිටීමට හැකියාවක් තිබේ ද? එය සිදුවිය හැකි දෙයක් ද?

උතුම් කාදිනල් හිමියන් හැර අනෙක් සියලු දෙනා ම බොරු කියන බව අප විශ්වාස කළ යුතු ද?

කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු කාදිනල්වරයා සතුව තිබේ නම්, ඔහු ඒ පිළිබඳව ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?

මැල්කම් රංජිත්ගේ පෞරුෂයේ විශ්වාසය නොදන්වන තවත් පැත්තක් ද ඇත.

ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් පතුරුවා හැරීමටත්, දෙවියන් වහන්සේ ඉදිරියේ සැමදෙනාටම සමානව සැලකීමටත් කැපවිය යුතු පුද්ගලයෙකු මෙහි සිටී. නමුත්, කාදිනල්වරයාගේ අතීත ක්‍රියාකලාපය කෙබඳුද ?

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දී ශ්‍රී ලංකා හමුදාව උතුරු පළාතේ දේවස්ථානවලට බෝම්බ හෙලන විට මැල්කම් රංජිත් දැඩි නිශ්ශබ්දතාවයක් රැකි බව සත්‍යයක් නොවේ ද?

මෙම ප්‍රහාරවලින් කතෝලිකයන් ඇතුළු අහිංසක දෙමළ ජනතාව විශාල පිරිසක් මියගිය බව සත්‍යයක් නොවේ ද? යුද සමයේ දී දෙමළ පූජකවරුන් රැසක් අතුරුදහන් වූයේ, හෝ ඝාතනය වූයේ නැද්ද?

මැල්කම් රංජිත් මේවායින් කිසිවක් හෙළා දුටුවේ ද? ලේ වැගිරීම් සහ දරුණු මානව පීඩාවන් පැවති අවස්ථාවක ඔහුගේ නිහඬතාව යුධ අපරාධවලට අනුබල දීමක් බඳු නොවේ ද?

කොළඹ අගරදගුරු ලෙස පත්වී වසරකට පසු, එනම් 2010 දී කාදිනල් තනතුරට පත් වූ මෙම කාදිනල්වරයා, දෙමළ ජනතාව විඳි පීඩාවන් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි පිරිසට එරෙහිව කෑගැසූ ආකාරය කාටනම් අමතක කළ හැකි ද?

ශ්‍රී ලාංකිකයන් බාහිර මැදිහත්වීම් අනුමත නොකරන බවට ඔහු එදා ප්‍රකාශ කළේ ය.

නමුත්, අද එම කාදිනල්වරයා ම පාස්කු ප්‍රහාරය පිටුපස ඇති බව කියන කුමන්ත්‍රණය හෙළිදරව් කර ගැනීමට තවත් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියි. ඔහු ජිනීවා හිදී ද මෙම ඉල්ලීම සිදු කර ඇත. ඔහු වතිකානුවට ද බලපෑම් කරමින් සිටී.

ඔහු ඉල්ලා සිටින ආකාරයේ අලුත් ජාත්‍යන්තර පරීක්ෂණයකින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානියක් සිදු නොවනු ඇතැයි අපි උපකල්පනය කරමු. නමුත් 2008-09 යුද අපරාධ සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණයක් පැවැත්වුණේ නම් ශ්‍රී ලංකාව දැඩි අවමානයකට ලක්වීමට ඉඩ තිබිණි.

‘ජැෆ්නි මොනිටර්’ (Jaffna Monitor) හි කතුවැකියක සඳහන් වූ පරිදි, කොටි සංවිධානය (LTTE) උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සැබෑ පාලකයන් ලෙස සිටි සමයේ පූජක පක්ෂයේ ඇතැම් කොටස් ඔවුන් සමග හවුල් නොවූ බවට කිසිවෙකුත් තර්ක කරන්නේ නැත. එය වෙනම ම කතාවකි.

නැවත කොළඹට අවධානය යොමු කළහොත්, කාදිනල්තුමන් සිදු කරන ඇතැම් දේවල් පිළිබඳව කතෝලික ප්‍රජාවේ සැමදෙනා ම සතුටින් පසුවන්නේ නැත.

එක් කතෝලිකයකු පැවසූ පරිදි, පාස්කු ඉරිදා සිදු වූ දෙය පිළිබඳව කාදිනල්තුමාට යම් යම් සැක සංකා තිබිය හැකි ය. තමන්ගේ ඒ බිය හෝ සැකය ප්‍රසිද්ධ කිරීමට උන්වහන්සේට සම්පූර්ණ අයිතියක් තිබිණි. නමුත්, යුක්තිය ඉටු කර ගැනීමේ නාමයෙන් මෙය දිගින් දිගට ම ඇදගෙන යාම වෙනත් කරුණකි.

"කොළඹ සහ කොළඹින් පිටත සිටින බොහෝ කතෝලිකයන් කාදිනල්තුමන් ගැන සතුටු නොවන බව මම දන්නවා," යැයි වයෝවෘද්ධ කතෝලිකයකු පැවසී ය. "උන්වහන්සේ ළඟ සාක්ෂි තිබේ නම්, ඒවා රජයට දිය යුතු යි. උන්වහන්සේ මේ කරන්නේ ප්‍රචාරණ කටයුත්තක්."

තවත් ප්‍රශ්න ද තිබේ.

ශ්‍රී ලංකාවේ සිදුවන දේවල් පිළිබඳව වතිකානුව දැනුවත් ද? කාදිනල්තුමා කතා කරන්නේ වතිකානුව වෙනුවෙන් ද? එසේ නම්, ඉන් අදහස් වන්නේ වතිකානුව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බව ද? මැල්කම් රංජිත් හිමිපාණන් කතා කරන්නේ උන්වහන්සේගේ පෞද්ගලික මට්ටමෙන් නම්, පූජක වස්ත්‍රයෙන් සැරසී උන්වහන්සේට එසේ කළ හැකි ද?
පාස්කු ලේ වැගිරීමෙන් පසුව රට තුළ සාමය පවත්වා ගන්නා ලෙස කාදිනල්තුමන් නැවත නැවතත් ඉල්ලා සිටි අවස්ථාවේ දී තමා උන්වහන්සේට ගෞරව කළ බව කොළඹ තවත් කතෝලිකයකු පැව සීය.
"මට ආඩම්බරයක් හිතුණා. උන්වහන්සේගේ ඒ ඉල්ලීම නොතිබුණා නම් කුමක් සිදු වීමට තිබුණා දැයි කවුද දන්නේ? නමුත් උන්වහන්සේ දැන් කරන දේ නම් නිවැරදි නැහැ. උන්වහන්සේ බලයේ සිටින පිරිස් සමග එක්ව කටයුතු කරනවා වගෙයි පෙනෙන්නේ."

(ඉන්දීය ජනමාධ්‍යවේදියකු වන එම්. ආර්. නාරායන් ස්වාමි ‘ජැෆ්නා මොනිටර්’ අන්තර්ජාල පුවත්පතට ලියූ The Cardinal Who Talks Like a Politician නම් ලිපිය ඇසුරෙනි)

           

පරිවර්තනය -  අනුර බී. සෙනෙවිරත්න