උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

නමව් මුනි සරණ

බුදු ගුණ අලංකාරය - 380 - 381

නුබ මැද පත                        පතඟ                                               නොදිලෙන පහන් සිළු            රඟ                                               උවම් නොකළැකි                  ළඟ                                               කෙසේ වනමු ද ඔවුන් යුග        දඟ

පදගතාර්ථය 

පතඟ - සූර්යයා , නුබ මැද  -  ආකාශය මැදට , පත  -  නැඟුණු කල්හි පහන් සිළු  -  පහන් දැල්ල , නොදිලෙන රඟ  - නොබබළන කල්හි , ළඟ නොකළැකි - ළං කොට පෙන්විය නොහැකි , උවම්  - උපමා ඇති , ඔවුන් - ඒ බිසොවුන් ගේ , දඟ වුග - ජංඝා දෙක , කෙ සේ වනමු ද - කෙ‌ෙ සේ වර්ණනා කරමු ද?

භාවය
සූර්යයා ආකාසය මුදුනට නැඟුණු කල්හි පහන් දැල්ලෙහි දීප්තිය නැති ව යන පරිදි ළං කොට දැක්විය නොහැකි උපමා ඇති ඒ දේවිය‌ෙ ගේ ජංඝා දෙක (කෙණ්ඩ) කෙ සේ වර්ණණා කරමු ද?
 
රූ සයුරේ                      පතුල්                                         
නො  පෑ උන් ගේ දෙ            පතුල්                                                   
කෙරෙයි සත ලොබ              තුල්                                                   
කුමක්කියමු ද මෙ ලොව කර      තුල්

පදගතාර්ථය

රූ සයුරේ  - රූප සාගරයෙහි , පතුල් නො පෑ - පතුල දැක්විය නොහැකි වූ , උන් ගේ දෙ පතුල් - මේ දේවිය ගේ දෙ පා , සත  - සත්ත්වයන් ගේ , තුල් - මහත් වූ , ලොබ කෙරෙයි  - ලෝභය උපදවයි,  මෙ ලොව  - මේ ලෝකයෙහි , කුමක් - කවර වස්තුවක් , තුල් කර කියමු ද  - ඊට සමාන කොට කියමු ද?

භාවය
රූප සාගරයෙහි පත්ල දැක්විය නොහැකි වූ මේ දේවිය ගේ දෙපා සත්ත්වයන් තුළ මහත් ලෝභයක් ඇති කරයි. මේ ලෝකයෙහි ඊට කවර වස්තුවක් නම් උපමා කොට කියමු ද?