නාවික හමුදා සැපයුම් ක්‍රියාවලියේ නව විභවයන්හී ධාරිතා වර්ධනය කරමින් ‘සැපයුම් සමුළුව – 2026’

දැන්වීම් සදහා විමසන්න 071 374 6375වැඩි විස්තර සදහා

දීර්ඝ සැපයුම් කළමනාකරණ පාඨමාලා අංක 10 විසින් සංවිධානය කරන ලද 08 වැනි “සැපයුම් සමුළුව - 2026”, “සමෘද්ධිමත් ජාතියක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ 2026 මැයි 23 වැනි දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. “තිරසාර සැපයුම් කළමනාකරණය 2030; ඩිජිටල්කරණය, පාරිසරික තිරසාරභාවය සහ විනිවිදභාවයෙන් යුත් සැපයුම් දාම පාලනය හරහා ශ්‍රී ලංකාවේ සැපයුම් විශිෂ්ටත්වය ඉදිරියට ගෙන යාම” යන මැයෙන් පැවති මෙම සමුළුවේදී, නූතන සැපයුම් කළමනාකරණ ක්ෂේත්‍රයේ අභියෝග, නව ප්‍රවණතා සහ තිරසාර සංවර්ධන අවස්ථා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාරගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය.
මෙවර සමුළුවේ ප්‍රධාන දේශණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ (Postgraduate Institute of Management) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අජන්ත එස්. ධර්මසිරි මහතා විසින් පවත්වන ලදී. සමුළුවේදී ප්‍රධාන දේශන හා පර්යේෂණ පත්‍රිකා හතක් (07) ඉදිරිපත් කෙරුණු අතර, ඒ සමඟ විද්වත් හා විශ්ලේෂණාත්මක අදහස් හුවමාරු කිරීම්ද සිදු කෙරිණි. මෙම සමුළුව උප තේමා තුනක් යටතේ සංවිධානය කර තිබූ අතර, ඒ අනුව “ශ්‍රී ලංකාවේ සැපයුම් මූලික පද්ධතිය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ඩිජිටල් වේගවත්කරණය”, “අන්තර්ගතයෙන් අවසානය දක්වා වූ සැපයුම් පද්ධති තුළ හරිත පරිවර්තනය හා තිරසාරභාවය ඒකාබද්ධ කිරීම” සහ “විනිවිදභාවයෙන් යුත් සැපයුම් දාම පාලනය” යන කරුණු අවධානයට ලක් කෙරිණි. තවද, මෙම අවස්ථාව සඳහා විශ්වවිද්‍යාල සහ අනෙකුත් පුහුණු ආයතන නියෝජනය කළ විද්වතුන් හා වෘත්තිකයන්, නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, සැපයුම් අංශයේ විශ්‍රාමික අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් මෙන්ම ගුවන් හමුදා නිලධාරීන්ද සහභාගි වූහ.
සැපයුම් ක්‍රියාදාමය; නවෝත්පාදනය, ඩිජිටල්කරණය, පාරිසරික තිරසාරභාවය සහ විනිවිදභාවය යන මූලධර්ම සමඟ ඒකාබද්ධව කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ප්‍රගතිය හා ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගිය හැකි බවද, කලාපීය ගැටුම් හේතුවෙන් ගෝලීය සැපයුම් දාම අස්ථාවර වීමේ අවදානමකට ලක්ව ඇති බැවින්, එවැනි අභියෝගවලට ප්‍රතිචාර දැක්විය හැකි හැකියාවකින් සමන්විත සැපයුම් ජාලයක් ගොඩනැගීම සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීම සාමූහික වගකීමක් බවද නාවික හමුදාධිපති විසින් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.