ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

මහින්ද සමරසිංහට විදේශ ඇමතිකම?

ජගත් ගේ සතියේ සටහන -  119

ගල් අඟුරු කොමිසමට විපක්ෂයේ කාගෙන්වත් පැමිණිලි නෑ!?

බලයට පත් වී අවුරුද්දකුත් මාස අටක් ගත වී ඇතත් ජාතික ජන බලවේග ආණ්ඩුව රටට කළ දෙයක් නැතැ යි විපක්ෂය චෝදනා කරනවා. ඔවුන් ඊට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවට පළපුරුදු අත්දැකීම් තිබෙන මැති ඇමතිවරුන් නොමැති වීම හා පළපුරුදු දක්ෂ නිලධාරීන් පැත්තකට දමා තමන්ගේ හිතවතුන් ඉහළ තනතුරුවලට පත් කිරීම බවයි.

ඉකුත් යහපාලන ආණ්ඩුව කාලයේ සකස් කරනු ලැබු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යාම, බාල ගල් අඟුරු ගෙන්වීම මගින් රජයට විශාල පාඩුවක් සිදු කිරීම, මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2. 3 ක වංචාව, වාහන ආනයනය සඳහා පසුගිය මැයි 15 වැනිදා සිට පනවනු ලැබූ 50% ක බදු අධිභාරය පිළිබඳව ආණ්ඩුවේ ගජ මිතුරු ව්‍යාපාරිකයින් කලින් දැනගෙන මැයි 15 දාට පෙර වාහන 4000 කට ණයවර ලිපි නිකුත් කිරීම ඇතුළු චෝදනා රැසක් පසුගිය කාලයේ සමගි ජන බලවේගය සහ අනිකුත් විපක්ෂයේ පක්ෂ විසින් ආණ්ඩුවට එල්ල කළා.

මේවා අතරින් බරපතල ම චෝදනාව වූයේ ලක් විජය බලාගාරයට බාල ගල් අඟුරු ගෙන්වීම යි. පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් විපක්ෂය ගෙන ගිය චෝදනා හේතුවෙන් බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා ගේ එම ඇමති ධූරය මාරු කිරීමට ද ජනාධිපතිවරයාට සිදු වුණා.

ඉන්පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2009 වර්ෂයේ සිට මෙරටට ගල් අඟුරු ගෙන්වා ඇති ආකාරය සොයා බැලීමට දැනට සේවයේ යෙදී සිටින විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් යුත් කොමිෂන් සභාවක් පත් කළා. නෑම කෙනකුට ගල් අඟුරු ගෙන්වීම පිළිබඳව මෙම කොමිසමට පැමිණිලි කළ හැකි බව ජනාධිපතිවරයා කොමිසම පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වුණා. මේ වන විට එම කොමිසමට පැමිණිලි 28 ක් ලැබී ඇති බව ද වාර්තා වෙනවා. එහෙත් ගල් අඟුරු වංචාවක් සිදුවී ඇති බවට චෝදනා කළ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු මෙම කොමිසමට පැමිණිලි ඉදිරිපත්  කොට නැති බව එහි ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.

මේ අතර වාහන ආනයනයේ දී මැයි 15 වනදා සිට 50% අධිභාරයක් පැනවීමෙන් ගජ මිතුරු ව්‍යාපාරිකයින් විසින් ඒ බව කලින් දැනගෙන මැයි 15 වනදා වාහන 4000 ක් සඳහා ණයවර ලිපි විවෘත කොට ඇතැ යි සමගි ජන බලවේගයේ ආසන සංවිධායක වරයකු වන නිරෝෂන් පාදුක්ක ඇතුළු පිරිසක් කළ චෝදනාවට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දුන් මුදල නියෝජ්‍ය ඇමතිආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ එම දින කිහිපයක තුළ ණයවර ලිපි නිකුත් කොට ඇත්තේ වාහන 1782 ක් සඳහා පමණක් බවයි. එහෙත් විපක්ෂය එම චෝදනාව තව දුරටත් සිදුකර ගෙන යනවා.

මේ අතර ආනයනය කරන වාහන සඳහා 50% අධිභාරය පැනවූ මැයි 15 වැනිදා සහ එයට පෙර දින කිහිපයේ ණයවර ලිපි විවෘත කොට ඇති සංඛ්‍යාව, ඒවා විවෘත කළ සමාගම් හා වාහන ප්‍රමාණය පිළිබඳ විස්තර ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ‌ෙතාරතුරු ඉල්ලීමක් පසුගිය සතියේ ඉදිරිපත් කළා.

මෛත්‍රී ගේ  රුපියල් කෝටි 6000 ක නෝට්ටු කතාව

මෙවැනි චෝදනා නඟමින් විපක්ෂය හා විපක්ෂය මඟින් පවත්වා ‌ෙගන යන සමාජ මාධ්‍ය විසින් ආණ්ඩු විරෝධී ප්‍රචාර දිගට ම ‌සිදු කෙරෙමින් පවතිනවා.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් 'ෆ්‍රී ලෝයර්ස්' (නිදහසේ නීතිඥයෝ) සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කළේ බංකොලොත් වී සිටින ආණ්ඩුව රුපියල් කෝටි 6000 ක මුදල් නෝට්ටු අච්චු ගසා ඇති බව යි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය සතියේ මාධ්‍ය හමුවක දී මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළා.

ආණ්ඩුවට ණය වාරික ලබාදීමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වී තිබුණේ අලුතින් මුදල් අච්චු ගැසීම නොකළ යුතු බව යි. එසේ තිබියදී ආණ්ඩුව රුපියල් කෝටි 6000 ක මුදල් නෝට්ටු අච්චු ගැසුවේ නම් එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට හොරෙන් කළ හැකිදැ යි ආර්ථික විශාල්ෂකයින් පවසනවා.

ඉහළ ගොස් ඇති ඇමරිකන් ඩොලරයේ අගය මෙමගින් තවත් පහළට විත් රුපියල ශක්තිමත් වනු ඇතැයි මහ බැංකු බලධාරීන් පවසනවා.

''මේ ආණ්ඩුවට වැඩ කරන්න දක්ෂයො නෑ. ඉන්නෙ වැඩ බැරි ටාසන්ලා. ඒ නිසා ආණ්ඩුව කරගෙන යන්න බැරිව ජනාධිපති අනුර කුමාර දිසානායක අමාරුවෙ වැටිලා" යැයි සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් හා එම පක්ෂය මඟින් පවත්වා ගෙනයන සමාජ මාධ්‍ය පසුගිය දිනවල විශාල ප්‍රචාරයක් ගෙන ගියා.

මේ නිසා දැන් ආණ්ඩුව විපක්ෂයේ සිටින දක්ෂයින් බා ගැනීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇති බවත්, ඒ අනුව දැනටමත් විපක්ෂයේ කිහිප දෙනකුට ම ඇමති තනතුරු දීම සඳහා ආරාධනා කොට ඇති බවත්, සමගි ජන බලවේගයේ රෝහණ බණ්ඩර, නලීන් බණ්ඩාර, හර්ෂණ රාජකරුණා ආදි මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවල දී පවසා තිබුණා.

ඔවුන් ප්‍රබල ලෙස ප්‍රචාරය කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අණෟඩුවට බඳවාගෙන ඔහුට මුදල් ඇමති තනතුර දීමට සූදානම් බවට යි. ආචාර්ය හර්ෂ ද සිල්වා සමගි ජන බලවේගයේ සිටින වැරදි වැඩ විවේනය කරන අතර ම හොඳ වැඩ හොඳයි කියා අගය කරන මධ්‍යස්ථ පුද්ගලයෙක්. සජිත් ප්‍රේමදාස මහතා ගේ සමීපතමයින් අතර හර්ෂ ගැන ඇත්තේ බියක්. ඒ ඔහු සජිත් කපාගෙන පක්ෂ නායකත්වයට ඒමට ඉඩ ඇතැ යි යන සැකය යි. මෙනිසා සජබට හිතවත් 'මව්රට' ආදී සමාජ මාධ්‍ය වලින් කලක සිට ආචාර්ය හර්ෂට පහර ගහනවා. හර්ෂ ආණ්ඩුවට යන කතාව තදින් ම ප්‍රචාරය කරන්නේ ඔවුන් විසිනුයි.

මං යන්නෙ නෑ - ආචාර්ය හර්ෂ

එහෙත් පසුගිය දා එක්තරා රූපවාහිනී සාකච්ඡාවක දී 'ඔබ ආණ්ඩුවට යනවා දැ' යි ප්‍රශ්න විචාරකයා විමසූ විට ''මට ආණ්ඩුවෙන් කිසිම ආරාධනයක් ලැබිල නැහැ. ආරාධනා ලැබුණත් කොහොමටත් මං ආණ්ඩුවට යන්නෙත් නැහැ" යනුවෙන් පිළිතුරු දෙමින් හර්ෂ මෙම ප්‍රචාරය තරයේ ප්‍රතික්ෂේප කළා.

ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙක් සමගි ජන බලවේගයේ එක්තරා මන්ත්‍රීවරයකුගේ නිවසට ගොස් ආණ්ඩුවට එකතු වන ලෙසත්, ආණ්ඩුවට ආවොත් ඇමතිකමක් දෙන බවත් ඔහු පවසා තිබෙන නමුත් එම මන්ත්‍රීවරයාගේ බිරිඳ බැණ වැද එම ව්‍යාපාරිකයා එළවා ගෙනැති බවත්, සජබ තවත් මන්ත්‍රීවරයකු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. එහෙත් එම මන්ත්‍රීවරයාගේ හෝ පැමිණියේ යැ යි කියන ව්‍යාපාරිකයා කවුරුන් දැ යි ඔහු හෙළිකළේ නැහැ.

මේ අතර විපක්ෂයට හිතවත් තවත්  සමාජ මාධ්‍ය කිහිපයක්, ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20 දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ඡා කොට ඇති බව වාර්තා කොට තිබුණා.

මහින්ද සමරසිංහ විදේශ ඇමතිකම?

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ  ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී, විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිහිප දෙනකු ආණ්ඩුවට ගැනීමට යනවාදැ යි මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.

ආණ්ඩුව මුල සිට ම ගෙන තිබු තීරණයක් අනුව විපක්ෂයේ කිසිම පක්ෂයක මන්ත්‍රීවරුන් ආණ්ඩුවට නොබඳවා ගන්නා බවත් විවිධ කණ්ඩායම් ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරවීම සඳහා මෙවැනි ප්‍රචාර ගෙන යන බවත් ඇමතිවරයා පිළිතුරු දුන්නා.

එසේම ඇමරිකාවේ තානාපති මහින්ද සමරසිංහ මහතා ආණ්ඩුවට බඳවා ගෙන ඔහුට විදේශ ඇමති තනතුර දීමේ අදහසක් තිබේදැ යි මාධ්‍යවේදියකු විමසූ විට එයද තරයේ ප්‍රතික්ෂේප කළ ඇමතිවරයා මහින්ද සමරසිංහ මහතා මේ වන විටත් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන බව ද කියා සිටියා.

ජනාධිපති ලේකම් වෙනස් කරන්නෙ නෑ - වෛද්‍ය නලින්ද ජයතිස්ස

පක්ෂ මාරු කළොත් මන්ත්‍රීකම් අහෝසියි?

එපමණක් නොව ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබු පරිදි මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කළොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කෙරෙන පනත් කෙටුම්පතක් ආණ්ඩුව ළඟදීම පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කිරීමට කටයුතු කරන ගෙන යන බව ද ඒ මහතා තව දුරටත් සඳහන් කළා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එම පක්ෂයෙන් ඉවත්වීමට සූදානම් බවට වාර්තා පළවීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා මෙම පනත් කෙටුම්පතට කැමැත්ත දක්වන බව ද වාර්තා වෙනවා.

දැන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ සමාජ මාධ්‍ය පවසන්නේ ''ආණ්ඩුව තුළ අර්බුදයක් පවතිනවා. ඒ නිසා මන්ත්‍රීවරුන් 20 ක් පමණ ආණ්ඩුවෙන් ඉවත්වීමට සාකච්ඡා කොට තිබුණා. එය වැළැක්වීම සඳහා යි ඔය පනත් කෙටුම්පත ගේන්නට යන්නේ" යනුවෙන්.

මේ අතර ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතා එම තනතුරෙන් ඉවත් කොට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට යන බවට විපක්ෂයේ මාධ්‍යවල පළ වූ වාර්තා ද කැබිනට් ප්‍රකාශකවරයා ප්‍රතික්ෂේප කළා. ඔහු පැවසුවේ ජනාධිපති ලේකම් තනතුරේ කිසිදු වෙනසක් සිදු නොකරන බව යි.

 - ජගත් -