උණුසුම් පුවත්

පාලකයන්නෝ ගේ අමනෝඥ තීන්දුවක් නිසා දියුණුවන සංචාරක කර්මාන්යටත් කණ කොකා හඬලයි – විපක්ෂ නායක සජිත්

මගේ බෙදිල්ල නරකයි කියන අයගේ දරුවන් යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාවලට

මේ වන විට ක්‍රමක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි හැටියේම වැඩි කර ඇති බවත් සාර්ක් රටවල විදේශිකයන්ට ඩොලර් 20 සිට 35 දක්වාත් සාර්ක් නොවන රටවලට ඩොලර් 50 සිට 75 දක්වාත් සේවා ගාස්තු සහ අමතර ගාස්තු සමඟ සාර්ක් නොවන රටවල් වීසා ගාස්තුව ඩොලර් 100 ඉක්මවා ඇති බවත් සාර්ක් රටවල ඩොලර් 58 ඉක්මවා ඇති බවත් මේ නිසා වර්ධනය වූ සංචාරක කර්මාන්තය පවා ඇනහිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා රෙඩ් වින්ග්ස් කියන ගුවන්යානය හරහා රුසියාවෙන් අප රටට සතියකට 800ක් පමණ සංචාරකයන් පැමිණිමට නියමිතව තිබුණත් එය ද මේ වන විට නතර කර ඇති බවත් මෙවැනි අමනෝඥ තීන්දු තීරණ ගන්නට පෙර විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළා ද කියා ගැටලුවක් ඇතිව තිබෙන බවත් තායිලන්තය, කැම්බෝඩියාව, වියට්නාමය, මාලදිවයින, බාලි වැනි රටවල වීසා සහන මෙන්ම වීසා ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇති මොහොතක අප රට ඩොලර් 100 ඉක්මවා ගිය මුදලක් අය කරන බවත් මෙය අමනෝඥ තීන්දුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 159 වැනි අදියර යටතේ අද කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

අධ්‍යාපනයේ බෙදීම නැති කළ යුතුයි

ප්‍රභූ පන්තිය සහ පහළ පන්තිය ලෙස සමාජයේ බෙදීමක් ඇතිව තිබෙන බවත් ආර්ථික බෙදීම හා බංකොලොත්භාවයට අමතරව නැති බැරි ඇති හැකි බෙදීමක් අධ්‍යාපනයේත් නිර්මාණය වී ඇති බවත් අධ්‍යාපනයේ ගැටලුවලට ඇති එකම විසඳුම සිංහල හෝ දමිළ පමණයි කියන එක නොව මව් භාෂා දැනුම සමඟ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට යොමු වීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ කතා කියන විට මම විජාතිකයි කියා පහර ගැසිය හැකි නිසා මේ කාඩ්බෝඩ් බොරු දේශප්‍රේමීත්වයට රූකඩ ජාති ආලයට නොරැවටෙන ලෙසයි.

දේශපාලනඥයෝ නිසා තමයි පාසල්වලට ගොඩක් දේවල් නැති වුණේ

තමාට පාසලේ දේශපාලනය කතා කරනවා කියා චෝදනාවක් එල්ල වන බවත් දේශපාලනය නිසා මේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් නොලැබීම සහ රජයේ පාසල් සම්පත්වලින් හිඟවීම සිදුවන බවත්, එකම පාසලේ දරුවන්ට බෙදා දිවා ආහාරය ලබා දෙන්නේ මේ දේශපාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා බඩු බෙදන නායකයකු බවට චෝදනාවක් එල්ල වී ඇති බවත් මේ බෙදිල්ලෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවට පවසන අයගෙන් අහන්න ඇත්තේ පරිගණකයක්, සුහුරු පුවරුවක්, ශබ්දකෝෂ, නර්තන ඇදුම්, පුස්තකාලයට ග්‍රන්ථ ලබා දීම නරක දෙයක්ද කියා ප්‍රශ්න කරන බවත් මෙසේ බෙදිල්ල නරකැයි කියන අය මහපාරේ කොමියුනිස්ට්වාදය අන්ත සමාජවාදය ගැන කතා කරමින් තමන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාවලට යවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.