ජගත් ගේ සතියේ සටහන - 128

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම හා මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරුවන් කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆ්‍රනාන්දුට හා හිටපු
පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව මත පෙරේදා (31) මරණ දණ්ඩනය නියම කෙරුණි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ආරක්ෂක ලේකම්වරයකු හා පොලිස්පති වරයකුට මරණ දඬුවම් නියම වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙනවා.
මෙම නඩු විභාගයේ දී විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබු චෝදනා 855 න් එක් චෝදනාවක් හැර අනෙකුත් චෝදනා සියල්ලට ම ඔවුන් වරදකරුවන් වන බව තීරණය කළ විනිසුරු මඬුල්ල චෝදනා අතුරින් චෝදනා 542 කට වසර 12 බැගින් බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර එම වසර 6504 ක සිර දඬුවම් කාලය වසර 12 කින් ගෙවීයන අන්දමින් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.
ඒ හැර එක් චෝදනාවකට රුපියල් 5000 බැගින් චෝදනා 542 ක් සඳහා රුපියල් 27,10,000 ක දඩ නියම කළ විනිසුරු මඩුල්ල එම මුදල් නොගෙවුවහොත් අමතර මාස 271 ක සිර දඬුවම් ද නියම කළා.
අධිකරණයේ දැල්වෙමින් තිබු විදුලි පහන් නිවාදමා එහි රැස්ව සිටි සියලු දෙනා නැඟී සිටිය දී විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ට මරණ දඬුවම ප්‍රකාශයට පත් කළේ ඉන් අනතුරුව යි.
මරණ දඬුවම නියම නොකිරීමට හේතු ඇතිනම් ඉදිරිපත් කරන්නැයි විනිසුරු මඬුල්ල පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන් විට ඔහු මෙසේ පැවසුවා.
''මම හිතලා කිසිම මිනීමැරුමක් කළේ නැහැ. මෙම සිද්ධිය ආරම්භයේ පටන් ම විජිත් මලල්ගොඩ කමිටුවේ සිට ම මට අසාධාරණයක් වූ බව මට හැඟෙනවා. මම වැඩ කළේ තවත් නිලධාරීන් සමූහයක් සමඟයි. මට වගේ ම වගකීම් තිබු අනෙක් නිලධාරීන් මේ සිද්ධියෙන් මුදාහැර තිබෙනවා"
''මා පොලිසියට බැඳුණු දවසේ ඉඳලා කිසිම දවසක කාටවත් ම අසාධාරණයක් වන අන්දමින් කටයුතු කරලා නැහැ. මම අදහන ආගම අනුව මට මේ පළ දෙන්නේ පෙර කරපු කරුමයක්"
''රටේ පොලිස්පති වශයෙන් මට විතරක් මේ විධියට කටයුතු කරන එක කොයි තරම් සාධාරණ ද කියලා සළකා බලන ලෙස ඉතාම යටහත්ව පහත්ව ඉල්ලා සිටිනවා."
තමාට මරණ දඬුවම නියම නොකිරීමට හේතු දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆ්‍රනාන්දු මහතා, ''මේක මගේ වරදක් නොවෙයි. මේකට වගකියන්න ඕනැ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා" යැයි පැවසුවා.
ඔහු මෙසේ ද කියා සිටියා. ''මේකට වගකියන්න ඕනෑ මම නෙමේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මේ සිද්ධිය වන විට එයා රට ගිහින්. සිංගප්පූරුවේ 'මුස්තාපා එකේ ෂොපින් කර කර හිටියා කියලා කට්ටිය කියනවා. මම රජයේ සේවකයෙක් විතරයි. ජනාධිපති රට යන විට මට බලය පවරලා ගියේ නැත්නම් ආරක්ෂක ලේකම් විධියට මට කිසිම බලයක් නැහැ"
''ඒ කාලයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති වරයා වශයෙන් කටයුතු කළේ රුවන් විජේවර්ධන මහතා යි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට යනවිට රුවන් විජේවර්ධන මහතාට ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු කිරීම සඳහා බලය පවරා ගියා නම් අද මේ වගේ දෙයක් වෙන්නේ නැහැ" යි ද හේමසිරි ෆ්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියා.
පූජිත් ජයසුන්දර හා හේමසිරි ෆ්‍රනාන්දු යන මහත්වරුන්ට විරුද්ධව නීතිපතිවරයා මීට පෙර මෙම චෝදනා යටතේ ම මහාධිකරණය ඉදිරියේ නඩු පවරා තිබු නමුත් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව චෝදනා ඉදිරිපත් කර නොමැති බව පවසමින් එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් වාචික නොකැඳවා ම 2022 පෙබරවාරි 18 වැනිදා විත්තිකරුවන් නඩුවෙන් නිදහස් කොට තිබුණා.
එහෙත් එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. මහාධිකරණය විසින් විත්තිකරුවන් නිදහස් කරමින් දී තිබු නියෝගය ප්‍රතිශෝධනය කරමින් එම නඩුව වෙනත් ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ අනුවයි යළිත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මහාධිකරණය විසින් මෙම නඩුව විභාග කරනු ලැබුවේ.
කෙසේ වුවද පූජිත් ජයසුන්දර සහ හේමසිරි ෆ්‍රනාන්දු යන මහත්වරුන්ට මහාධිකරණය මඟින් ලබාදුන් මරණ දඬුවම් තීන්දුව දේශපාලන අංශවල මෙන් ම නීති ක්ෂේත්‍රයේ ද දැඩි කතාබහට ලක්වී ඇති බව වාර්තා වෙනවා.
මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆ්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු කිහිප දෙනකුට එරෙහිව නඩු පවරා තිබු අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් පියවර නොගෙන එය වැළැක්විමට කටයුතු නොකිරීම යන චෝදනාවලට වරදකරුවන් වීම නිසා ඔවුන්ට අධිකරණය මඟින් රුපියල් කෝටි 10, කෝටි හත හමාර, කෝටි 5 ආදි වශයෙන් දඩ නියම කරනු ලැබුවා.
එහෙත් එම චෝදනාවලට පූජිත් ජයසුන්දර හා හේමසිරි ෆ්‍රනාන්දු යන දෙදෙනාට නීතිපතිවරයා අපරාධ නඩු සංග්‍රහය යටතේ මහාධිකරණයේ යළි නඩු පැවරීම ලැබීම බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වී තිබෙනවා.
පූජිත් ජයසුන්දර හා හේමසිරි ෆ්‍රනාන්දු යන මහත්වරුන්ට විරුද්ධව පවරා තිබු නඩුවේ පළමු සාක්ෂිකරු වූ නිලන්ත ජයවර්ධන මහතා සාක්කි දෙමින් මෙම බෝම්බ ප්‍රහාර එල්ල කෙරුණු 2019 අප්‍රේල් 21 වැනිදා ට දින දෙකකට පෙර සිට ම ඒ බව බුද්ධි තොරතුරු 8 ක් මඟින් දැනුම් දී තිබුණත් එම තොරතුරු අනුව විත්තිකරුවන් කටයුතු කරමින් ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාකර ඇති බවක් අනාවරණය වී නැතැ යි නඩු විභාගයේ දී හෙළි වූ බව විනිසුරු මඬුල්ල පවසා තිබුණා. මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් සැලසුම් කරන බවට වසරක පමණ කායලක පෙර සිට ම සිටම සිදුවූ විවිධ සිද්ධීන් ගෙනහැර දක්වමින් නිලන්ත ජයවර්ධන මහතා සාක්කි දෙමින් හෙළි කර ඇතැ යි ද විනිසුරු මඬුල්ල පෙන්වා දී තිබුණා.
එසේ වුවද මීට පෙර පැවති නඩු විභාගයේ දී නිලන්ත ජයවර්ධන මහතාට බුද්ධි තොරතුරු ලබා නොදී රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් වරදකරු කර දඩ නියම කර තිබීම ප්‍රශ්න සහගත බව ජ්‍යේෂ්ඨ නීතිවේදියෙක් අදහස් දක්වමින් ප්‍රකාශ කළා. හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සිය රාජකාරි නිසි ලෙස ඉටු කොට ඇති බව මෙම නඩු විභාගයේ දී විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන තිබෙන බැවින් ඔහුගේ නඩුව යළි විභාග කොට ජයවර්ධන මහතා චෝදනාවලින් නිදහස් කළ යුතුව ඇති බව ද එම නීතිවේදියා කියා සිටියා.
රවිට හා ශානිට ත් නීති මඟින් කටයුතු කළ යුතු යි - උදය ගම්මන්පිල

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සෙනසුරාදා (1) මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශානි අබේසේකර යන මහත්වරුන්ට විරුද්ධව නීති මඟින් ක්‍රියා කළ යුතු බවයි සඳහන් කළේ.
රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර යන මහත්වරුන්ට පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබියදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා ගෙන ගිය නමුත් ආණ්ඩුව මාරුවීමත් සමඟ එම පරීක්ෂණ ඇනහිට තිබෙන බව ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.
පූජිත් ජයසුන්දර හා හේමසිරි ෆ්‍රනාන්දු යන මහත්වරුන්ට මහාධිකරණය විසින් ලබා දී ඇති මරණ දඬුවම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් විමසූ විට ඔහු පැවසුවේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් තමා කිසිවක් ප්‍රකාශ නොකරන බව යි.
මේ අතර මහාධිකරණය විසින් පූජිත් ජයසුන්දර හා හේමසිරි ෆ්‍රනාන්දු යන මහත්වරුන්ට මරණ දඬුවම නියම කරමින් දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ගෙනු කරන බව ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඊයේ ප්‍රකාශ කළා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
දේශපාලනඥයින්ට සක්‍රීය දේශපාලනයේ යෙදිය හැකි වයස?
දේශපාලනඥයින්ට සක්‍රීය දේශපාලනයේ යෙදිය හැකි වයස සීමා කිරීම සඳහා වූ නව සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවට ආණ්ඩුව තුළ සාකච්ඡා වී ඇතැ යි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ කැබිනට් ඇමතිවරුන්ට එම තනතුරු දැරිය හැකි උපරිම වයස් සීමාවක් පැනවීමට හා පාර්ලිමේන්තුවට, පලාත් සභාවට, පළාත් පාලන ආයතනවලට අපේක්ෂකයින් වශයෙන් තරග කළ හැකි වයස් සීමාවක් නියම කෙරෙන නීති ගෙන ඒමට ආණ්ඩුවේ සූදානමක් ඇතැ යි එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
විශේෂයෙන් මේ වනවිට මෙම ආයතනවල මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බහුතරයක් වයස අවුරුදු 70 ඉක්මවා තිබීමත් ඒ හේතුවෙන් තරුණයින්ට දේශපාලනයේ යෙදිය හැකි අවස්ථා සීමාවී තිබීමත් මෙම යෝජනාවට හේතුවී ඇති බව ද දැනගන්නට තිබෙනවා.
මීට අමතරව දේශපාලන පක්ෂවල නායකයින්ට එම තනතුරු දැරිය හැකි උපරිම වයස් සීමාවක් යෝජනා කිරීම කෙරෙහි ද ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරනවා.
- ජගත් -

