උණුසුම් පුවත්

මුහුදු කූඩැල්ලන් කිලෝ 2000 ක් කල්පිටිය මුහුදේ දී නාවික හමුදාව අල්ලා ගනී

ඩිංගි බෝට්ටු තුනක් එක්ක සැකකරුවන් හයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 08 වන දින රාත්‍රී කාලයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමක දී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් දෙදහස් තිස් දෙකක (2032) තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 ජනවාරි මස 08 වන දින රාත්‍රී කාලයේදී වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායමක් යොදවා, කල්පිටිය උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර හැත්තෑ එකක (71) අසුරන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් දෙදහස් තිස් දෙකක (2032) තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 43 ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ තලවිල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් හය දෙනා (06), ඩිංගි යාත්‍රා තුන (03) සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.