ආරක්ෂකආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

මේක අයවැයක් නොවේ පච වැළක්

අනුරගෙ තුන්වැනි අයවැය ගැන විවාදය අරඹමින් විපක්ෂ නායක කියයි

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත් කළ බවත් රාජ්‍ය පාලනය ගැන සඳහන් චක්‍රවර්තී සීහනාද සූත්‍රය තුළ රාජ්‍ය පාලනය සහ බදු අය කර ගැනීම ගැන සඳහන් වන බවත් ජනාධිපතිවරයාගේ අයවැය කතාව මේ සූත්‍රය සමග සංසන්දය කළහොත් අකටයුතුකම් අසාධාරණය පීඩනය අසහනය සංකෝචනය ආදිය ජනතාව කරපිට පටවන අයවැයක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාක්ස්වාදී ජනපති අද නව ලිබරල්වාදය වැළද ගෙන

ජනාධිපතිවරයා මාක්ස්වාදී දේශපාලනය අනුගමනය කළත් අයවැය තුළ නම් නවලිබරල්වාදී ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් දෙළොවක් අතර තනිවී හුදෙකලා වී ඇති බවත් අයවැය කතාවේ සොහොන් පිටිවල නූල්, වස්කවි ගැන කතා කළත් මේවා ගැන කළබල නොවී කටයුතු කළ යුතු බවත් කුසල අකුසල අවබෝධ කර ගෙන පිරිසුදු චේතනාවෙන් ක්‍රියාත්මක වන්නේ නම් මේ හූනියම් වස්කවිවලට බිය වෙන්න අවශ්‍ය නොවන බවත් අයවැය ඉදිරිපත් කිරීමේ දී එය පිරිසුදු චේතනාවෙන් අවංක අරමුණින් නිර්මාණය වූ අයවැයක් නොවන බව පෙනෙන්නට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සූරසරදියල් අයවැයක් දෙන්න ආ මේ රජය මොහොමඩ් අලී අයවැයක් ඉදිරිපත් කරලා

මෙය ජවිපේ පළමු අයවැය නොවන බවත් පළමු අයවැය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධ කර ගෙන හදපු අයවැය රජයට දැන් අමතක වී ඇති බවත් එදා ඒ අයවැය තුළ පොහොසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දෙන බව පැවසූ බවත් එදා ලෝක බැංකුව සමග ඇති සම්බන්ධතා නතර කිරීම IMF මූලස්ථාන ඉවත් කිරීම කර සූර සරදියල් අයවැයක් දෙනවා කියූ බවත් දැන් ජවිපේ විධායක ව්‍යවස්ථාදායක හා පළාත් පාලන බලතල ගෙන මොහොමඩ් අලී අයවැයක් ඉදිරිපත් කර පොඩි මිනිසාගේ බඩට ගසා පොහොසතුන්ට තැන ලබා දෙන අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුප්පතාගේ හිතවතා දැන් කඩවුණු පොරොන්දුව වෙළා

පොහොසත් රටයි ලස්සන ජිවිතයයි 2026 අයවැයයි සංසන්දනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් බලය ගන්න දුප්පතාගේ හිතවතා කියා හොඳ රංගනයක් ඉදිරිපත් කර බලය ගත් පසු කඩවුණු පොරොන්දුව චිත්‍රපටිය තිරගත කරන බවත් රජය බලය ආවේ 76 වසරක සාපය ඉවත් කර ක්‍රමයේ වෙනසක් ඇති කරනවා යැයි කියා වුවත් කළ වෙනසක් නැති බවත් මුලින් අතුරු අයවැයක්, ඉන් පසුව 2025 අයවැයක් ගෙනවිත් අනතුරුව 2026ට ද අයවැයක් ගෙනාවත් ජනතාවට නම් සේවයක් නොවූ බවත් 3 වැනි අයවැය ලෙස 2027 අයවැය ගෙනාවත් කර්තෘත්වයත් පීතෘත්වයත් බාර ගෙන මාක්ස්වාදයෙන් පිට පැන නව ලිබරල්වාදයේ කපිතාන්ලා බවට රජය පත්ව පසුගිය රජයේ අඩිපාරේම යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආපු විදේශ ආයෝජනවලට වඩා රට අතහැර ගිය ආයෝජන ප්‍රමාණය වැඩියි

රජය පොරොන්දු වූ විදේශ ආයෝජන අදටත් නැති බවත් 2025 වසරේ ඇ. ඩොලර් බිලියන 1ක් පැමිණෙන විට රට අතහැර යෑම් සිදුවී ඇති බවත් චයිනා මර්චන්ට්, ඇම්බර් ඇඩ්වෙන්චර්ස්, යුනයිටඩ් පෙට්රෝලියම්, කෙරවලපිටිය ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රැසක් රට අතහැර ගිය බවත් එදා ඇගලුම් කම්හල් 200 වැඩසටහන තුළ ප්‍රධාන මූලිකයා වූ මාර්ස් බ්‍රැන්ඩෙක්ස් හයිඩ්‍රාමනි කර්මාන්තශාලා රට අතහැර ගොස් කර්මාන්තපුර විදේශරටවල ආරම්භ කරන බවත් රටේ රැකියා උත්පාදනය නොවූවත් ආණ්ඩුවේ 2/3ට නම් රැකියා ලැබුණු බවත් ජීවන වියදම වැඩි වී රත්රං උගස් කිරීම පවා සිදුවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දුප්පතුන් දුප්පත් වී පොහොසතුන් තවත් පොහොසත් වෙළා

ලස්සන ජීවිතයක් හදන්න ආව අය ජනතාවගේ ජීවිත අවලස්සන කර ඇති බවත් පොහොසත් රටක් හදනවා කියා දුප්පත්කම ප්‍රවර්ධනය කරන බවත් 2019-2025 අතර ආදායම බෙදී ගොස් ඇත්තේ දුප්පතාගෙන් පොහොසතාට බවත් පහළ ස්ථරයේ ඇති අයගේ ආදායම තියුණු ලෙස අඩු වී දුප්පත්ම 20%කගේ සැබෑ කුටුම්භ ආදායම 19.6%කින් අඩුවී ඉහළ ස්ථරයේ ධනය වර්ධනය වී ධනවත් 20%කගේ ආදායම ඉහළ ගොස් ඇති බවත් පොහොසත් අයගේ ආදායම 14.8%කින් දැන් වැඩි වී දුප්පතුන් දුප්පත් වී පොහොසතුන් පොහොසත් වී වැඩ කරන ජනතාවගේ ආදායම් හැකිලී ඇති බවත් පොහොසත්ම අයගේ ධනය වර්ධනය වී ඇති බවත් ධනවත් 20%කගේ ආදායම 51.4%-55.8% දක්වා වැඩි වී ඇති බවත් ප්‍රමාණවත් වැටුප් නොලැබීම ජීවන වියදම වැඩි වීම නිසා දුප්පතුන් තවත් දුප්පත් වී ඇති බවත් සමාජය යථා තත්ත්වයට පත්ව ඇත්තේ බිලියනපතියන්ගේ වාසියට හා දුප්පත් ජනතාවගේ අවාසියට බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අදටත් රජය කටයුතු කරන්නේ වැරදි දත්ත මතයි

ලෝකබැංකු වාර්තා අනුව 2025 දුප්පත්කම 61.1%ක් යැයි පවසන විට රජය හා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව කිලෝකැලරි 2030ක් එක් අයකුට සුදුසු බව පවසන විට එම්.ආර්.අයි. කියන ආකාරයට මේ ප්‍රමාණය වැඩි බවත් MRI යන ආයතනයේ දත්ත අනුව ක්‍රියාකාරි පිරිමියකුට කිලෝ කැලරි 3340ක් සාමාන්‍ය පිරිමියකුට 2340ක් ක්‍රියාකාරි කාන්තාවකට 2680ක් සහ සාමාන්‍ය කාන්තාවකට 1890ක් කිලෝකැලරි අවශ්‍ය බවත් රු. 17742ක් මාසයක් එක් අයකුට ඇති බවට රජය බොරු දත්ත පවසන බවත් UNDP වාර්තා අනුව අප රටේ දුප්පත්කම බරපතළ ලෙස වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෘෂිකර්මාන්තයට කිසිදු සහනයක් නෑ

මේ අයවැයෙන් කෘෂිකර්මාන්තයට සාධාරණයක් නොවූ බවත් ගොයම් කකා රු. 150ක වී කිලෝවට ස්ථාවර මිලක් දෙන බව පැවසුවත් එය ද නොවූ බවත් වී ගොවිතැන පමණක් නොව ලොකු ලූණු අර්තාපල් ගොඩභෝග අපනයන භෝග උඩරට එළවළු වගාව පවා බිද වැටී ඇති බවත් කෘෂිකර්මාන්තය වෙනුවෙන් අයවැයෙන් කිසිදු සහනයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.්

ණය ගිවිසුම තවමත් වෙනස් කලේ නෑ

පොහොසත් රටයි ලස්සන ජිවිතයයි ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බලයට ආවාම ණය ප්‍රතිව්‍යුහගතකරන ගිවිසුම වෙනස් කරනවා කිව්වත් එය වෙනස් නොකළ බවත් පැවැති රජයේ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න මේ රජය කටයුතු කරන බවත් ලැසාර්ස් සමාගම හරහා ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහතකරණය හරියට නෙවූ බවත් මේ මැක්රො ලින්ක් බොන්ඩ් අනුව අප රටේ ආර්ථික වර්ධන වේගය වැඩිවන විට ණය කපාහැරිය සහනය අඩුවන බවත් රටක් ලෙස ආර්ථීක වර්ධන වේගය වැඩි කරන්න මේ නිසා උත්තේජනය අඩුවන බවත් මේ ලැසාර්ස් සමාගම ලංකාවට වංචාවක් කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා රැවටුවා මේ රජය

මේ රජය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහන නොදුන් බවත් මේ අය වෙනුවෙන් හදනවා කියූ සංවර්ධන බැංකුව අදටත් නැති බවත් අමාරුවේ වැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 2022 වන විට 263000ක් සිටින බවත් මේ අයගේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් මේ රජය නොකළ බවත් ඡන්දය ගන්න පමණක් පරාටේ නීතිය අත්හිටුවීම පමණක් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හදනවා කියූ ඩිජිටල් ආර්ථිකය පවා තවමත් නැහැ

තරුණ පරපුර මේ රජයට විශාල වරමක් ලබා දුන් බවත් මේ අයගේ අපේක්ෂාව වූයෙ ඩිජිටල් ආර්ථිකය නිසා 2025 රු. බි. 25.5ක් සහ 2026 රු. බි. 28.5ක් වෙන් කර ඇති බවත් තවත් බි. 12.1ක් ද ක්‍රියාත්මක නමුත් 2026 ඩිජිටල් ක්ෂේත්‍රයේ පොරොන්දු 17ක් දුන්නත් 5ක් පමණක් ක්‍රියාත්මක බවත් 3ක කිසිම ප්‍රගතියක් නොමැති බවත් තවත් පොරොන්දු 5ක් ප්‍රමාද වී ඇති බවත් ඩිජිටල් අයි.ඩී එක 2026 තුන්වැනි කාර්තුවේ දෙනවා කිව්වත් තවමත් නොමැති බවත් තවමත් කොන්ත්‍රාත්කරු ගේනවා කිව්වත් තවමත් නොමැති බවත් පසුගිය අයවැයේ ප්‍රගතිය ගැන කළ විමසීමට පවා උත්තර නොදුන් බවත් රජයේ ප්‍රගතියේ බෙලහිනතාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හදපු අයි.ටී. පාර්ක් එකක් හොයාගන්නත් නෑ

බ්‍රේඩ්බෑන්ඩ් රවුටර්  2026 දෙනවා කියා මේ වසරේ ද එය කියන බවත් අයි.ටී. පාර්ක් හදනවා කියා පැවසුවත් හදපු අයි.ටී. පාර්ක් එකක් නැති බවත් සෑම තරුණ කණ්ඩායමක්ම මේ රජය රවටා මංමුලා කළ බවත් මොවුන්ගේ විශ්වාසය රජය විනාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අස්වැසුමයි ප්‍රජාශක්තියයි දෙකම ෆේල්

දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ලෙස අස්වැසුම හා ප්‍රජාශක්ති ක්‍රියාත්මක කළත් ඒවා අසාර්ථක බවත් ජනසවිය නිර්මාණය කළේ වාමවාදී මිනිසුන් බවත් මොවුන් මිනිසුන් ගැන සිතා මෙවැනි සාර්ථක වැඩපිළිවෙළක් ඇති කළත් මේ රජයට පැහැදිලි වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් පවා නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

රජය පුනර්ජනනීය බලශක්තිය මොට කරනවා

බලශක්තිය ගැන කතා කරමින් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා කියා කෝටි ගණන් වැය කරමින් කම්බයින්ඩ් සයිකල් බලාගාර ප්‍රවර්ධනය කරන බවත් තාප බලාගාර මාෆියාව ප්‍රවර්ධනය කරන බවත් මේ නිසා බදු ගෙවන ජනතාවගේ බදු මුදල් ප්‍රතිලාභ නැති දේවල්වලට වැය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ආරම්භ කළ එක කර්මාන්තශාලාවක් නම් කරන්න

රජය ආරම්භ කළ එක් කර්මාන්තශාලාවක් නම්කරන ලෙස ඉල්ලා සිටින බවත් රැකියා ප්‍රශ්නය පවා විසදුවේ නැති බවත් පැය 24ම පචයයි බොරුවයි ක්‍රියාත්මක කරන බවත් ක්ෂූද්‍ර මූල්‍ය ණය මර උගුලේ ජනතාව ගිලී මියයන බවත් රජයට තවමත් ඒවාට පියවර ගෙන නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ටකරමට දෙනවා කිව්ව ලක්ෂ 10 කෝ

දිට්වාවලට පොරොන්දු වූ සහන නොමැති බවත් ටකරමට ලක්ෂ 10ක් දෙනවා කිව්වත් 2027ට පවා සහනාධාර දෙන්න මුදල් වෙන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය අධ්‍යාපනයයි සෞඛ්‍යයයි දෙකම අනාථ කළා

අධ්‍යාපන අමාත්‍යාංශයට පරිගණක ආදිය පාසල්වලට දෙන්න නොහැකි වී ඇති බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල ඖෂධ හා උපකරණ මෙන්ම මානව සම්පත් හිගයක් ඇති බවත් වෛද්‍යවරයාගේ සිට පහළ නිලධාරීන් දක්වා සේවකයන්ට දැනෙන සහනයක් ලබා දෙන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් මේ රජය සෞඛ්‍ය ක්ෂේත්‍රය අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාළු හොයන ඇප් එක තවමත් නෑ

රට වටේ මුහුද තිබුණට ධීවර කර්මාන්තය දෙන දායකත්වය අවම බවත් අනන්‍ය ආර්ථික කලාපයක් තිබුණත් කරදිය මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න වැඩපිළිවෙළක් නොමැති බවත් මාළු හොයන ඇප් එක අදටත් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුද්ධිගලනය නවත්වන්න වෘත්තීයවේදීන්ට වාහන බලපත්‍ර ලබා දෙන්න

රටේ බුද්ධි ගලනය වැඩි වී වෘත්තියවේදීන් රට අතහැර යන නිසා මේ අයට වාහන පර්මිට් ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරුන්ට වඩා වාහන අවශ්‍ය මේ වෘත්තීයවේදීන්ට බැවින් මේ වාහන පර්මිට් ඔවුන්ට ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

පරිසරය ගැන දක්වපු දායකත්වය නම් මදි

පරිසර සුරක්ෂිතභාවය ගැන අයවැය යෝජනාවල යම් යම් දඩුවම් දීම් වන්දි ගෙවීම් ආදිය ගැන සදහන් වීම හොද නමුත් ප්‍රමාණාත්මකව එය ප්‍රමාණවත් නොවන බවත් මේ සම්බන්ධයෙන් රජය යොමු කරන අවදානය වැඩි කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ජනාධිපතිවරයාට රාජ්‍ය සේවය හිසරදයක් වෙළා ලු

ලක්ෂ 14-15ක් රාජ්‍ය සේවකයන් සිටියත් දැන් මේ අයට යන වැය කිරීම් ගැන හිතන්න ඕනි කියා දැන් කියන බවත් එදා ජනාධිපතිවරණ මැතිවරණ සමයේ නම් මේවා ගැන හිතුවේ නැති ජනාධිපතිවරයා දැන් රාජ්‍ය සේවකයන් සතුරන් ලෙස දකින බවත් තැපැල් ඡන්ද කාලයේ නම් මේවා මුකුත් කිව්වේ නැති වුණත් දැන් රාජ්‍ය සේවකයා කරදරයක් වී ඇති බවත් එදා ගොවියා දෙවියා වී අද ගොවියා කසිප්පුකාරයා ලෙස රජය හංවඩු ගහන ආකාරයට රාජ්‍ය සේවකයන් අපහාස කරන බවත් ඊට අමතරව විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට පවා විසදුම් නොමැති බවත් වැඩිහිටියන්ගේ 15% ඉතිරි කිරීම් පොලිය ලබා දෙන්න නොහැකි ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා වුණ පොරොන්දු එකක්වත් අද ඉටු කර නැහැ

විදුලි බිල 33%කින් අඩු කරන යෝජනාව අයවැයේ නැති බවත් ලක්ෂ 12 විට්ස් කාර් එකවත් නැති බවත් රු. 50000 මොටර්බයිසිකලය පවා නැති බවත් වරායේ ගොඩබාන මිලටම ඉන්ධන දෙනවා කිව්වත් අදටත් එය නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක පච වැයක්

අද වන විට ඇති හැකි අය නැති බැරි වී නැති බැරි අය නැත්තට නැති වී තිබෙන බවත් නැවත වරක් බොරු අයවැය ඉදිරිපත් කර රජය සම්මානයට පාත්‍ර වී ඇති බවත් බොරුව පචය ඇන්දවිල්ල මුලා කිරීම ආදිය නිසා ටොම්පච අයවැයක් ලෙස සම්මානයට පාත්‍රවන බවත් මෙය අයවැයක් නොව පච වැයක් පච වැලක් බවත් රජය ලක්ෂ 220ක් ජනතාවගේ සිහින මරා ඇති බවත් දැන්වත් ජනතාවගේ සිහින මැරීම නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් ජනතාවගේ අපේක්ෂා භංග කරන්න එපා

රජය 68 ලක්ෂයකගේ බලාපොරොත්තු අපේක්ෂා පාවා දී ඇති බවත් මහා පාවාදීමට වඩා මෙය විශාල පාවා දීමක් බවත් ජනතාවගේ සිහින අපේක්ෂා බිද දමා ඇති බවත් දැන්වත් මේ අයගේ සිහින සැබෑ කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වසලයකු නොවී දැන්වත් මැද මාවත අනුගමනය කරන්න

බුදුන් වහන්සේ දේශනා කළ පරිදි වසලයකු හෝ බ්‍රාහ්මයකු යන්න තීරණය කරන්නේ උප්පත්තිය අනුව නොව ක්‍රියාව අනුව බවත් ඒ නිසා රජය මාක්ස්වාදය පෙන්වා බලය ගෙන නව ලිබරල්වාදය ක්‍රියාත්මක කරන නිසා දැන්වත් නව ලිබරල්වාදය බැහැර කර අන්ත මාක්ස්වාදය බැහැර කර මැද මාවත අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය