උණුසුම් පුවත්කාලීනදේශපාලන

විධායක ජනාධිපති ධූරයේ නම් බලය තිබෙන්නේ 2019දී එවකට ජනාධිපතිවරයාට ධූරය හැර යාමට සිදු වන්නේ නැහැ.

ජනපති අකුරැස්සේ දී කියයි

අපි මේ ආණ්ඩුව හදලා හෙටට වසර දෙකක් ගත වෙනවා. මෙම අවස්ථාවේ ආණ්ඩුවකට තිබිය යුතු විධායක ජනාධිපති ධූරයේ බලය මෙන්ම පාර්ලිමේන්තුවේ බලය අප සතුව තිබෙනවා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවටකට ලැබුණු වැඩිම බලය අපි ළඟ තිබෙනවා. ඒ වගේම නගර සභා සහ ප්‍රදේශීය සභාවල වැඩිම බලය තිබෙන්නේ අපිට. ඒ අනුව ආණ්ඩුකරණය සඳහා වැඩිම බලයක් අප සතුව තිබෙනවා" යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) අකුරැස්සේ දී පැවසීය.

මාලිමා ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන රැස්වීම් මාලාවේ  අකුරැස්සේ පැවති මේ රැළියේ දී වැඩිදුරටත් ජනතාව අමතමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කළ කතාවයි මේ.

හැබැයි, විධායක ජනාධිපති ධූරයේ නම් බලය තිබෙන්නේ 2019දී එවකට ජනාධිපතිවරයාට ධූරය හැර යාමට සිදු වන්නේ නැහැ. එවිටත් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තිබුණා. පාර්ලිමේන්තුව තුළ පමණක් නම් බලය තිබෙන්නේ 2023 පැනලා යන්න වෙන්නේ නැහැ. ආණ්ඩුකරණය විධායක ජනාධිපති ධූරයේ බලය, පාර්ලිමේන්තු බලය, ප්‍රාදේශීය සභා, නගර සභා බලය තුළ තිබෙනවා. එහෙත් එම බලය තිරසාර ලෙස ස්ථීර වන්නේ කොපමණ ජනතා බලයක් තිබෙනවාද කියන සාධකය මතයි.
මේ ආණ්ඩුව ගොඩනඟා ගත්තේ පැරණි ගමන් මග ඒ විදියටම ගලා යාමට නොවෙයි. මෙම ආණ්ඩුව ගොඩනගා ගත්තේ පරිවර්තනයක් වෙනුවෙන්. අපි මේ වන විට බොහෝ ක්ෂේත්‍රවලට පය තබා තිබෙනවා. එයින් ඇතැම් ක්ෂේත්‍රවල ටිකක් දුර ගොස් තිබෙන අතර, ඇතැම් ක්ෂේත්‍ර හඳුනාගෙන තිබෙනවා. මේ ආණ්ඩුව එම සමාජ පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරනවා. එහෙත් පැරණි ආණ්ඩුවේ වරප්‍රසාද, වරදාන සහ විවිධ අයිතිවාසිකම් ලැබු කණ්ඩායම් කලබලයට පත් වෙනවා.
අපේ රටේ දේශපාලන වේදිකාවේ දීර්ඝ කාලයක් කථා කළ මාතෘකාව වන්නේ දූෂිතයන්ට දඬුවම් දීමයි. වංචා, දූෂණ අපේ රටේ දේශපාලනයේ එක් අංගයක් බවට පත්ව තිබුණා. එය විසින් රටත්, ජනතාවත් විශාල විපතකට ඇද දැමුවා. ඒ නිසා වංචාවෙන්, දූෂණයෙන් තොර පාලනයක් සහ වංචනිකයින්ට දඬුවම් ලබා දීම අපේ රටේ ජනතාවගේ අභිලාෂයක් බවට පත්ව තිබුණා. එහෙත් ඒක කරන්න යද්දි වංචාවට, දූෂණය ඇබ්බැහි වූ කණ්ඩායම් ඊට විරුද්ධ වෙනවා. මීට පෙර හැමදාම තිබුණේ දූෂිතයින්ට දඬුවම් දීම පිළිබඳ කතන්දරයක් විතරයි. දැන් කතන්දරයට පණ ලැබෙනවා. එවිට කියනවා නයි, මුගටි, පොළොන්ගු එකතු වෙන්න ඕන කියලා. පරිවර්තනය සිදු වෙද්දි පැරණි සමාජයේ විනාශකාරීත්වයට දායක වූ අය එකට එකතු වෙනවා. මොකද ඔවුන් දන්නවා මේ පරිවර්තනය ඔවුන්ට විශාල හානියක් ගෙන දෙන බව.
ඒ වගේම මත්ද්‍රව්‍ය සහ ඒ සමග ගොඩනැගුණු පාතාලය විනාශ කළ යුතුයි. ජාතික ජන බලවේගය ආණ්ඩුව ඒක කරනවා. අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට  මත්ද්‍රව්‍ය ව්‍යාපාරවලින් පෝෂණය වූ සන්නද්ධ කණ්ඩායම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට යොදාගත් පිරිස් කලබල වෙනවා. එවිට ඔවුන් අපේ පාලනයට එරෙහිව එකට එකතු වීමට උත්සාහ කරනවා.
 දේශපාලන සංස්කෘතියේ ඇති කරන වෙනස්කම් ඔවුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. ඇතැම් අය ආරක්ෂාව ඉවත් කරන විට අධිකරණයට ගිහින් නඩු දානවා. විශ්‍රාම වැඩුප අහෝසි කිරීමට තීරණය කරන විට ඇතැම් මන්ත්‍රීවරු කිව්වා අහෝසි කළොත් මරාගෙන මැරෙනවා කියලා. තර්ජනය කරනවා. නව පරිවර්තනයක් සිදු කරන විට පැරණි සමායේ නෂ්ටාවශේෂ ඊට තර්ජනයක් ඇති කරනවා. 
අපේ රටේ සෑම කෙනෙක්ම අධිකරණය කෙරෙහි අචල විශ්වාසයකින් කටයුතු කරනවා. හැබැයි අධිකරණය කෙරෙහි අප තුළ තිබෙන විශ්වාසය තවදුරටත් ශක්තිමත් වන්නේ අපරාධවලට නිසි කාලය තුළ දඬුවම් ලබා දීමෙන්. අපේ රටේ ඇතැම් නඩු තිබෙනවා 2017 නඩුව දානවා, හැබැයි 2026 වන තෙක් එක සාක්ෂියක්වත් විමසන්නේ නැහැ. එසේ නම් අපි මෙය පරිවර්තනයකට ලක් කළ යුතුයි. එහිදී ඒ නඩු තිබෙන අය කලබල වෙනවා. පැරණි සමාජයේදී ඔවුන් සිතුවේ ඔවුන් නීතියට වඩා ඉහළින් ඉන්නවා කියලා. ගහක වැටුණු පොල්ගෙඩි 08ක් ඇහින්දොත් ඔහුට සිර දඬුවම් ලැබෙනවා. හැබැයි එයාර් ලංකා වගේ වංචාවන් සිදු කළ විට ආරක්ෂාව ලැබෙනවා කියලා ඔවුන් සිතුවා. ඒ අනුව පැරණි සමාජයේ ආකල්පයක් තිබුණා නීතියට යටත් වන්නේ සාමාන්‍ය ජනතාව පමණයි කියලා. හැබැයි ලංකාවේ පළමු වතාවට හිටපු ජනාධිපතිවරයෙක් අධිකරණයට ගෙනැවිත් රිමාන්ඩ් භාරයට පත් කර තිබුණා. දැන් කිසිවෙක් නීතියට උඩින් නැහැ. සියලුදෙනා නීතිය ඉදිරියේ සමානයි කියන පරිවර්තනය අපි ඇති කරලා තිබෙනවා. මෙහිදී නීතියට යටත් නොවුණ අය කලබලයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම නීතිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අණ පනත් සම්මත කරන විට විරෝධය දක්වනවා.
ආණ්ඩුවක් ලබා ගත් බලය එලෙසම පවත්වාගෙන යනවා නම් විරෝධතා නැහැ. නමුත් ලබා ගත් බලය සමාජ පරිවර්තනය සඳහා යොදවන විට කලබල වෙනවා.  මේ පැරණි සමාජය අපේ රට ව්‍යසනයට පත් කළ තත්ත්වයක්. ජනතාව අපිට බලය ලබා දුන්නේ එය වෙනස් කිරීමටයි. එය සිදු කරන විට පැරණි සමාජයේ වරදාන, වරප්‍රසාද භුකිති විඳපු කණ්ඩායම් පරිවර්තනයට විරුද්ධව කෑ ගහන්න පටන් ගන්නවා. එය කොච්චරද කියනවා නමි එකිනෙකාට එරෙහිව අවි අමෝරාගත් අය එකට එක් වෙලා තිබෙනවා. එහි රහස අන් කවරක්වත් නොවෙයි, මේ පරිවර්තනය ඔවුන්ට ඔරොත්තු නොදීමයි.

එසේ නම් අපි රට තුළ මේ පරිවර්තනය සිදු කළ යුතුයි. ලෝකයේ සෑම විටම මෙම පරිවර්තන අත් කරගෙන තිබෙන්නේ ජනතා බලය සමගයි. මේ ප්‍රතිවිරෝධතාවලට මුහුණ දීමට නම් අපි ශක්තිමත් ජනතා බලයක් ගොඩනැගිය යුතුයි. මේ ජාතික ජන බලවේගය හුදු මතවාදයකින් පමණක් ජයග්‍රහණය කළ එකක් නොවෙයි. මේ ව්‍යාපාරය ගොඩනැගුණේ මාධ්‍ය බලය, පවුල් බලය හෝ මූල්‍ය බලය විසින් නොවෙයි. අපි මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගුවේ ජනතාව දැනුවත් කරමින් සහ ඔවුන් ඒකරාශි කර ගනිමින්. අපි මේ ජනතා ව්‍යාපාරය ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ආණ්ඩුකරණය වගේම දේශපාලනයද වැදගත් වෙනවා. අද ඉහළ සිට පහළට ගම දක්වා පැතිරුණු ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයයි. එය දිගු කාලයක් මේ රටේ බලය ආරක්ෂා කරන ව්‍යාපාරයයි.

බොහෝ විට සිදු වුණේ ආණ්ඩු බලය ගත් විට ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් කාර්යාලයේ කොටු වීමයි. ඇමතිවරයා අමාත්‍යාංශයට කොටු වීමයි. ආණ්ඩුව සහ ජනතාව අතර අන්තර් සබඳතාවක් තිබුණේ නැහැ. අපි මේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුයි. පාලකයාව ජනතාව ප්‍රශ්න කළ යුතුයි. පාලකයා සහ ජනතාව අතර යහපත් සබඳතාව අපි ගොඩනැගිය යුතුයි. පාලකයා ජනතාවට වගවිය යුතුයි. ලෝකයේ රටවල් ඉදිරියට ගියේ එහෙමයි. ජනතාව විසින් තෝරා පත් කර ගත් නායකයා ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නේ නැත්නම්, ඉටු නොකිරීම පිළිබඳ සාධාරණ හේතුවකුත් නැත්නම් ජනතාව විසින් පාලකයා ප්‍රශ්න කළ යුතුයි. එවැනි අලුත් යුගයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය ගම් පුරා විසිරුණු ශක්තිමත්ව සංවිධාන ජාලය හිමි දේශපාලන ව්‍යාපාරය බවට පත් කළයුතුයි.
 ඒ හා බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් තහවුරු කළ යුතුයි. බනින්න, ලියන්න, කථා කරන්න නිදහස් දෙන්න ඕන. අපි ප්‍රජාත්න්ත්‍රවාදය නිසි ලෙස ස්ථාපිත කළ යුතුයි. මාධ්‍යයට ලියන්න තිබෙන අයිතිය, පුවත්පත්වල පළ කිරීමට තිබෙන අයිතිය, රූපවාහිනියට කියන්න තිබෙන අයිතිය ඕන තරම් තිබෙනවා. හැබැයි මාධ්‍ය ආයතන සීමාවන් තේරුම්ගත යුතුයි. සීමාවන් තේරුම් ගන්නේ නැත්නම් එය ඔවුන්ගේ ප්‍රශ්නයක්. අපි නිදහස ලබා දිය යුතුයි. රටක් ඉදිරියට යන්නේ එහෙමයි.
එක් යුගයක මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. මාධ්‍යවේදීන්ගේ අත පය කැඩුවා, රටේ සුදු වෑන් සංස්කෘතියක් හැදුවා. රට ඉදිරියට ගියේ නැහැ.  ප්‍රජාතන්ත්‍රවාදය හකුළා රටක් ඉදිරියට යන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් හෙබි රටක් සහ සමාජයක් තමයි ඉදිරියට යන්නේ. අපේ මේ වසර දෙක කිසිදු කඳුළු ගෑස් ප්‍රහාරයක්, ජල ප්‍රහාරයක් එල්ල නොකළ වසර දෙකයි. එම ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ලබා දිය යුතුයි. අදහස් ඉදිරිපත් කිරීමට අයිතිය තිබිය යතුයි. ඇහුම්කන් දෙන්න ඕන, භාරගන්න දේ භාරගන්න ඕන, ප්‍රතික්ෂේප කරන දේ ප්‍රතික්ෂේප කරන්න ඕන. සියල්ල දන්නේ තමන් කියලා හිතුවොත් රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් ඉදිරියට යාමට නම් තමන් දන්න දේ වගේම නොදන්නා දේ ගැනත් නායකයින්ට අවබෝධයක් තිබිය යුතුයි. නොදන්නා දේ උරා ගැනීමට සමත් විය යුතුයි. රටක් ඉදිරියට යන්නේ එවැනි පාලනයක් තුළින් පමණයි. ඒ නිසා මේ වසර දෙකක් ගත වන අවස්ථාවේ අපේ රට නව ආභාෂයක් සහ නව පරිවර්තනයක් සමග ඉදිරියට යාමට පටන් ගෙන තිබෙනවා.

ඒ වගේම රටේ ආර්ථිකය, ජන ජිවිතය, ආහාර පාන, ආර්ථික අවස්ථා අපි හදන්න ඕන. අපි එළැඹෙන අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අපි භාණ්ඩාගාරය පුරවලා තිබෙනවා. ලබන වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 1750ක් සහ දිට්වා ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 250ක් සමග බිලියන 2000 ක් වෙන් කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදමක් දරන වසර බවට ලබන වසර පත් වෙනවා.

මුල්ගල් ගොඩක් තියපු මේ අකුරැස්ස බස් නැවතුම්පොළ හදන්නත් අපි ලබන වසරේ මුදල් වෙන් කර දෙනවා. ගමට මුදල් ගලා යා යුතුයි. අපි ගොඩනගාගත් ආර්ථික ප්‍රතිලාභ ගමට ලබා දිය හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. ගමේ යටිතල පහසුකම් සංවර්ධනය වන විට ගමට මුදල් ගලාගෙන එනවා. ඒ වගේම අසීරුතා තිබෙන අයට සහනාධාර මගින් එම ප්‍රතිලාභය ලබා දිය යුතුයි. අස්වැසුම ලබා දීම, වකුගඩු රෝගීන්ට, අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන් වෙනුවෙන් අපි මේ වන විට  එම ප්‍රතිලාභ ලබා දෙනවා. ජනතාව හැමදාම සහනාධාර මත යැපෙන එක හොඳ නැහැ. හැබැයි හැමදාමත් සහනාධාරවලින් බලාගත යුතු සමාජ කණ්ඩායමක් ඉතිරි වෙනවා. ආර්ථිකය විශාල ලෙස දියුණු වූ රටවල්වල පවා සහනාධාරවලින් යැපෙන කණ්ඩායමක් ඉන්නවා. ආදායම් මාර්ගයක් නැති, ආදායම් උපයා ගැනීම සඳහා ශරීර ශක්තිය නැති, ආදායම් උපැයූ කෙනා හදිසියේ අනතුරකට පත් වුණා නම් සහනාධාරයක් ලබා දෙන්න ඕන. රටක් කියන්නේ එහෙමයි. අපි ජනතාව බලා ගත යුතුයි.
දෙමාපියන් අහිමිව, භාරකරුවන් නැතිව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින සෑම දරුවෙකුටම අපි මේ ජනවාරි මාසයේ සිට ගිණුමකට රුපියල් 5,000 බැගින් යොමු කරනවා. එම දරුවන් අවුරුදු 18දී එළියට යන්න තිබුණා. එහෙත් අවුරුදු 21 දක්වා ඔවුන් බලා ගැනීමට අපි තීරණය කළා. අවුරුදු 21 දක්වා රුපියල් පන්දහසක් ලබා දීම වගේම ඔවුන් එළියට යන විට නිවසක් හදා ගන්න දැනට රුපියල් ලක්ෂ 20ක දීමනාවක් ලබා දෙනවා. රටේ බලාගත යුතු සමාජය කණ්ඩායමක් සිටිනවා. අපි ඔවුන්ව බලාගත යුතුයි. ඒක ආණ්ඩුවක වගකීමක්. ඇතැම් අය කියනවා සහනධාර එපා කියලා. බලාගත යුතු සමාජ කණ්ඩායමක් ඉන්නවා. ඒ සමාජ කණ්ඩායම අපි බලාගන්න ඕන. ඒ නිසා තමයි අපි වකුගඩු ආධාරය වැඩි කළේ. ඒ වගේම මහපොළ ශිෂ්‍යාධාර වැඩි කළා. මම මේ මෑතකදී නිල්වලා විද්‍යා පීඨයේ ගුරුවරුන් පිරිසක් හමු වුණා. ඔවුන්ට ඉතාමත් අඩු දීමනාවක් ලබා දෙන්නේ. ඊළග අයවැයේදී ඔවුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට මම තීරණය කර තිබෙනවා. ඒ නිසා රටේ ආර්ථිකය හදන විට බලාගත යුතු සමාජ කණ්ඩායම බලාගත යුතුයි.
මැදපෙරදිග තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියා. අපි ලෝක වෙළෙඳපොළේ ගානට තෙල් මිල ඉහළ දැම්මේ නැහැ. සෑම ඩීසල් ලීටරයකටම ආණ්ඩුව රුපියල් 100 ගානේ වැය බරක් දැරුවා. ඒ සඳහා කෝට් 6,000ක් වැය කළා. දැන් නැවත ලෝක වෙළෙඳපොළ මිල අනුව නම් ඔක්තෝබර් මාසයේ තෙල් මිල වැඩිකළ යුතුව තිබෙනවා. එහෙත් සහනාධාරයක් ලබා දී එය පාලනය කිරීමට අපි අපේක්ෂා කරනවා. ආර්ථික පීඩනයේ බර මුළුමනින්ම ජනතාව පිට දමන්න බැහැ. ආණ්ඩුව ඊට යම් මැදිහත්වීමක් සිදු කළ යුතුයි.
ඒ වගේම විදුලිබලට යම් සහනාධාරයක් ලබා දෙනවා. විදුලිබිල වැඩිකළ යුතු අවස්ථාවල අපි ඒ මිල වැඩි කළේ නැහැ. ඒ වැය බර ආණ්ඩුව දැරුවා. අපි ඒ වෙනුවෙන් කෝටි 1500ක් වැය කළා. විශේෂ තත්ත්වයක් ආවොත් ජනතාවට දරා ගන්න බැහැ. ආණ්ඩුව ඒ සඳහා සහනාධාරයක් ලබා දිය යුතුයි. අපි ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තා. ඒ අනුව භාණ්ඩාගාරයේ ධනය සහනාධාර ලෙසත්, හදිසි අවස්ථාවල ජනතාව බලා ගැනීම මගිනුත් ජනතාව වෙත ලැබීමට සැලැස්විය යුතුයි.
ඒ වගේම අපි නව ආර්ථික අවස්ථා ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රජාශක්ති ව්‍යාපාරය මගින් දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි රැකියා අවස්ථා ඇති කළ යුතුයි. වසර ගණනාවක් රාජ්‍ය සේවයට බදවා ගත්තේ නැහැ. එහෙත් අපි විධිමත් අයුරින් අවශ්‍යතා මත එක් ලක්ෂ විසි දහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම විවිධ දුෂ්කරතා මැද සේවයේ නිරත වන පොලිස් නිලධාරින්ගේ දීමනාව වැඩි කිරීමටද අපි ලබන අයවැයේදී අවධානය යොමු කර තිබෙනවා.
කෘෂිකර්මාන්තය, ධීවර ක්ෂේත්‍රය නව තාක්ෂණය සමග ඉදිරියට ගෙන යනවා. මේ තුළින් රටේ ආර්ථිකය අත්කරගත් ප්‍රතිලාභ ජනතාව වෙත ගලා එනවා. අද එය ක්‍රියාත්මක වනවා. ඒ වගේම සේවාවන් හරහා ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේ සැලසුම් අපි මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් හදනවා. නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ජනතාවට සමීප කරමින් ආරෝග්‍යා සෞඛ්‍ය ක්‍රමය අපි ක්‍රියාත්මක කරනවා. මේ අයුරින් නිදහස් සෞඛ්‍ය සේවාව ජනතාවට වඩා සමීප කිරීම, ලොව දියුණු තාක්ෂණ ක්‍රම සහ උපකරණ ලබා දීම ඇතුළු කරුණු 03ක් ඔස්සේ අපි සෞඛ්‍ය සේවාවේ නව පරිවර්තනයක් ඇති කරනවා. ඒ වගේම අධ්‍යාපනයේ නව පරිවර්තනයක් සිදු කරනවා. අපේ දරුවන් වෙනුනේ අපි හොඳම අධ්‍යාපන ක්‍රමයක් හදනවා.
අපි මේ රට හදන්න ඕන. වංචා දූෂණවල ප්‍රතිවිපාකවලට අපි රටක් ලෙස මුහුණ දුන්නා. බෙහෙත් නැතිව ජනතාව මිය ගියා. ඉන්ධන, ගෑස් පෝළිම්වල ජනතාව මිය ගියා. දරුවන් පාසල් යවා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. වෘත්තීයවේදීන් රට දාලා ගියා. වංචාව, දූෂණය, අල්ලස මේ රට ව්‍යසනයට ඇඳ දැමුවා. දරාගත නොහැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. සෑම අතින්ම රට විශාලා මහනුවරක් බවට පත් කළා. අපි මේ වන විට රට එම තත්වයෙන් මුදාගෙන තිබෙනවා.
පසුගිය මැතිවරණයේදී අපිට කණ්ඩායම් 03ක් සිටියා. අපිව සියයට සීයක් විශ්වාස කරපු අය හිටියා. අද ඔවුන් එදාට වැඩියෙන් අපිව විශ්වාස කරනවා. ඒ වගේම සැකයෙන් ඡන්දය දුන්නා නම් දැන් ඔවුන්ගේ සැකය දුරු වෙලා මේ ආණ්ඩුව වැඩ කරන ආණ්ඩුවක් යන විශ්වාසය තහවුරු වී තිබෙනවා. ඒ වගේම අපි ගැන අවිශ්වාසයෙන් සිටි අයගෙන් බහුතර ප්‍රමාණයක් මේ වන විට මේ ආණ්ඩුව අනුමත කරමින් ඉදිරියට යමින් තිබෙනවා. මීට පෙර සිදු වුණේ ආණ්ඩුවක් හදනකොට ජනප්‍රියයි, ආණ්ඩුව කරන විට වැටෙනවා. එහෙත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව හදනොකට තිබුණු ජනප්‍රියතාවට වඩා වැඩි කැමැත්තක් ආණ්ඩුකරණයේදී දිනාගත් ආණ්ඩුව මෙයයි.
පසුගිය මැතිවරණයේදී මාලිමාවට ඡන්දය ලබා දුන් සියලු දෙනාට අදත් එළියට බැහැලා කියන්න පුළුවන් අපි ඡන්දය දුන්නේ මාලිමාවට කියලා. අපිව විශ්වාස කර ඡන්දය ලබා දුන් සෑම ඡන්ද දායකයෙකුගේම ගෞරවය ආරක්ෂා කරන ආණ්ඩුවක් මේක. කිසිවෙකුට ඔබට විවේචනයක් එල්ල කළ නොහැකි තරමට, ඔබට පාරට බැහැලා ඔව් මම මාලිමාවට ඡන්දය දුන්නේ කියලා කොන්ද කෙළින් තබාගෙන කථා කරන්න පුළුවන් ආණ්ඩුවක් පසුගිය වසර දෙක තුළ අපි නිර්මාණය කර තිබෙනවා. මේ ආණ්ඩුව තමයි මේ රටට සුබවාදී අනාගතය නිර්මාණය කරන්නේ. ඒ වෙනුවෙන් අපි සියලුදෙනා විශ්වාසයෙන් ඉදිරියට යමු කියා මම ආරාධනා කරනවා.