උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙනවා – චීන ජනපති

චීන ජනපති ෂී ජින්පින් ( Xi Jinping) හා අගමැති දිනේෂ් බීජිං හි ග්රේට් හෝල් හි දී අද හමුවූ අවස්ථාව

දේශපාලන සහ සමාජ ආර්ථික ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන්ට චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා  සහතික විය. මෙහිදී  චීන ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරී භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සැම විට ම චීනය පෙනී සිටින බව යි.

පැයකට ආසන්න කාලයක් පැවතී මෙම සාකච්ඡා වලදී අග්‍රාමාත්‍යවරයාගේ පිය පරම්පරාව චීනයට දැක්වූ සහාය පිළිබඳව චීන ජනාධිපතිවරයා ස්තුතිය පළ කළේය. අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය සහ ශ්‍රී ලංකාවේ සෙසු පක්ෂ චීන කොමියුනිස්ට් පක්ෂය සමග තවදුරටත් සහයෝගය නංවා ගැනීමට බලාපොරොත්තු වන බවද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක දී ලබාදුන් සහාය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා  චීන ජනාධිපතිවරයා  වෙත සිය ස්තූතිය පුද කළේ ය. ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේ ය. පාසල් අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍ය, තාක්‍ෂණය, සංස්කෘතිය සහ ආගම වැනි ක්ෂේත්‍ර සඳහා ලබාදුන් සහයෝගය පිළිබඳ ව ද අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාට ස්තූතිය පළ කළේ ය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන,ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග්   අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක් ව සිටිය හ.