උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

හර්ෂණට ලෙඩ පිට ලෙඩ!

ජගත් ගේ සතියේ සටහන -  116

විපක්ෂයට හරි ජොලි.... ආණ්ඩුව මාතෘකා සතියක් ගානේ දෙනවා

මේ දවස්වල සමගි ජන බලවේගය ඇතුළු පක්ෂවලට හරි ජොලිය. ඒ සතියේ දේශපාලන කටයුතු ඇදගෙන යෑමට ආණ්ඩුව පැත්තෙන් ඔවුන්ට මාතෘකා ලැබෙන හෙයින් ය.

ලක් විජය බලාගාරයට බාල අඟුරු ගෙන්වීම, ඩීසල් බැරලය ඩොලර් 286 බැගින් මිලයට ගැනීම, මහා භාණ්ඩාගාරය මඟින් විදේශ ණය වාරික ගෙවීමේ දී ඩොලර් මිලියන 2. 5 ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීම, අස්වැසුම ප්‍රතිලාභින්ට අප්‍රේල් මාසයේ දී දෙගුණයක් මුදල් ගෙවීමෙන් රුපියල් කෝටි 5000 ක් රජයට පාඩුවීම, මැයි දින රැලියේ දී මැයි 25 දා ලැබෙන අධිකරණ තීන්දුවට අත්පොළසන් දීමට සූදානමින් සිටින ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා කළ කතාව, විදුලි ගාස්තු ඉහළ දැමීමට යාම ආදී මාතෘකා රැසක් පිළිබඳව මාධ්‍යවලට සිරස්තල සපයමින් මාධ්‍ය හමු හා රූපවාහිනී සාකච්ඡා පැවැත්වූ විපක්ෂයට පසුගිය සිකුරාදා (8) අලුත් ම මාතෘකාවක් ලැබුණා.

ඒ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අබිරහස් ලෙස මියයාම යි.

දෙදින නිල සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා රාත්‍රියේ දිවයිනට පැමිණි වියට්නාම් සමාජවාදී ජන රජයේ ජනාධිපති ටෝ ලොම් මහතා පිළිගැනීමේ නිල උත්සවය සිකුරාදා (8) පෙරවරු 8. 00 ට ජනාධිපති කාර්යාලය අබියස පැවැත්වෙමින් තිබුණා. එදින ම පාර්ලිමේන්තුව ඇමතූ වියට්නාම් ජනාධිපතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරය මෙරටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන පුවත් වීමට තිබුණත් එදින පෙරවරු 9. 00 ට පමණ කොල්ලුපිටිය පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකින් පසු ඒ සියල්ල වෙනස් වුණා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වහා අත්අඩංගුවට ගැනීමට පසුගිය 07 වනදා වරෙන්තු නිකුත් කර තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල් චන්ද්‍රසේන මහතා කොල්ලුපිටියේ නිවසක කාමරයක සැකකටයුතු ලෙස එල්ලී මියගොස් ඇති බව පොලිසියට ලැබුණු එම පණිවිඩයේ සඳහන් වුණා.

ඔහුගේ මළ සිරුර හමුවුණේ කොල්ලුපිටියේ පේද්‍රිස් පාරේ අංක 37 දරණ නිවෙසිනි. එම නිවසේ හිමිකරු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතාට අයත් බවත්, කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ සහෝදරිය විවාහ වී සිටින්නේ අරවින්ද සිල්වා මහතා සමඟ බවත් පොලිසිය කළ පරීක්ෂණවල දී හෙළිවුණා.

කපිල චන්ද්‍රසේන මහතා බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔහුගේ නීතිඥවරුන් සමඟ දුරකථන මඟින් සම්බන්ධ වී ඇති අතර ඒ අනුව සිකුරාදා (08) උදේ මහේස්ත්‍රාත් අධිකරණයට බාරවීමට සූදානමින් සිටිය බව එම නීතිඥවරුන් ප්‍රකාශ කළා. ඒ අනුව කපිල අධිකරණය වෙත ගෙනයෑම සඳහා නීතිඥවරයකු 08 වැනිදා උදේ 7. 30 ට පමණ ඔහු නතරවී සිටි ප්‍රේද්‍රිස් පාරේ අංක 37 දරන නිවසට පැමිණ තිබෙනවා.

එහි සිටි කාන්තාවක් නීතිඥවරයා සමඟ කපිල නතරවී සිටි උඩුමහලේ කාමරයට ගොස් දොරට තට්ටු කළ නමුත් ප්‍රතිචාරයක් නොවූ බැවින් නිවසේ තිබු අතිරේක යතුරකින් කාමරයේ දොර විවෘත කළ බවත්, එහිදී කපිල චන්ද්‍රසේන ගේ සිරුර බිම වැටි තිබු බවත්, ඔවුන් පොලිසියට පවසා තිබෙනවා.

පසුව කොල්ලුපිටිය පොලිසිය මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කොට තිබුණා. සැකකටයුතු අන්දමින් මියගොස් සිටින කපිල චන්ද්‍රසේන මහතා ගේ මෘත දේහය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනකුගේ කමිටුවක් මඟින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට නියම කළා.

කපිල චන්ද්‍රසේන මහතා 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සේ සිටිය දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේ දී ඇමරිකන් ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගිය මාර්තු 12 වැනිදා එසේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූ කපිල චන්ද්‍රසේන මහතා පසුගිය 5 වැනිදා රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල්ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබුවා. ඔහුට ඇප නියම කිරීමේ කොන්දේසියක් වූයේ ඇපකරුවන් සමීප ඥාතීන් වියයුතු බවයි. ඒ අනුව ඇප ලැබූ කපිල චන්ද්‍රසේන මහතා එදින නිවස බලා ගියා.

එහෙත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එම ඇපකරුවන් දෙදෙනා පිළිබඳ ඇති වූ සැකයක් මත සොයා බැලීමේ දී ඔවුන් අලුත්කඩේ සාංචිආරච්චි වත්තේ පදිංචි මුස්ලිම් ජාතීන් දෙදෙනකු බවත්, ඔවුන් ඇප අත්සන් කිරීමට ඉදිරිපත් වී තිබුණේ රුපියල් 15000 බැගින් මුදල් ලබාදීමේ පොරොන්දුව මත බවත්, හෙළි වී තිබුණා. ඒ අනුව ඇපකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කෙරුණා.

අනතුරුව අල්ලස් කොමිසම මැයි 07 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ කපිල චන්ද්‍රසේන මහතා ඇප පනතේ විධිවිධාන කඩකර ඇති බැවින් ඔහු යළිත් අත්අඩංගුවට වරෙන්තුවක් නිකුත් කරන ලෙස යි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළා

ඔහු කොළඹ 7 බාන්ස් පෙදෙසේ පිහිටි සිය නිවසින් පලා ගොස් අරවින්ද සිල්වා මහතා ගේ නිවසේ සැඟවී සිටිය දී මෙසේ සියදිවි නසාගෙන ඇතැයි විශ්වාස කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

කපිල චන්ද්‍රසේන මහතා ගේ මරණය පිළිබඳ පොලිස් පරීක්ෂණ අවසන්වීමටත් පෙර, දේශපාලන පක්ෂ හා මාධ්‍ය විසින් අදහස් පල කිරීම පටන්ගෙන තිබෙනවා.

වරෙන්තු නිකුත් කළ දින ම කපිල අත්අඩංගුවට ගත්තා නම් ඔහුගේ මරණය සිදු නොවන බව පිරිසක් කියනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා, කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැක සහිත බවත්, ඔහු වෙනුවෙන් ඇප දීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා ගැන සැකයක් පවතින බවත් සිකුරාදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

මෙම ඇපකරුවන් චන්ද්‍රසේන මහතාට හඳුන්වා දෙනු ලැබුවේ අල්ලස් හෝදූෂණ විමර්ශන කොමිසමේ බලධාරීන් විසින් දැ යි අධිකරණය විමර්ශනය කළ යුතු බවත් ඔහු කියා සිටියා.

තවත් සමරුන් චෝදනා කළේ කපිල චන්ද්‍රසේන මහතාට වරෙන්තු නිකුත් කළ දිනයේ ම ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා නම් මෙම මරණය සිදු නොවනු ඇති බවයි.

මෙම එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණය මඟින් කපිල චන්ද්‍රසේන මහතා ගේ බිරිඳ වන ප්‍රියංගා තියොමාලි  චන්ද්‍රසේන හා හිටපු කතානායක වරයකු වන චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ යන දෙදෙනාට ද අධිකරණ වරෙන්තු නිකුත් කොට ඇතත්, ඔවුන් දෙදෙනා විදෙස්ගත ව ඇති බව යි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වුවද ලබන සතියේ අලුත් මාතෘකාවක් ආණ්ඩුවෙන් ලැබෙන තුරු විපක්ෂයට මේ සිද්ධිය දිගට ම ඇදගෙන යා හැකි බව දේශපාලන නිරීක්ෂකයින් පවසනවා.

ස්ට්‍රේලියානු ආයතනයකට ණය වාරික ගෙවීමේ දී භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2. 5 ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට විපක්ෂයේ චෝදනා එල්ල වුණේ ඔහු එයට වගකිව යුතු බව පවසමින්.

හර්ෂණට ලෙඩ පිට ලෙඩ...

විපක්ෂය හා සමාජ මාධ්‍ය ඔහුට විරුද්ධව ප්‍රබල ලෙස මේ ගැන චෝදනා එල්ල කළ නමුත් ආණ්ඩුව ඔහු ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා. එය නිලධාරීන් අතින් සිදුවූ වරදක් බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පෙන්වා දුන්නා.

එහෙත් දැන් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට ඊට වඩා බරපතල චෝදනාවක් විපක්ෂය විසින් එල්ල කරනවා. ඒ ඔහු ද්විත්ව පුරවැසියකු බව පවසමින්.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ හර්ෂණ සූරියප්පෙරුම 2010 වසරේ දී ස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබාගෙන ඇති බවත්, පසුව ඔහු මෙරට පුරවැසි භාවය ලබාගෙන ඇති බවත් ය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ ආණ්ඩුවබලයට පත්වූ අවස්ථාවේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් පත් කළ අතර පසුව ඔහු නියෝජ්‍ය මුදල් ඇමති වශයෙන් ද පත් කරනු ලැබුවා.

දැනට මාස දෙකකට පෙර ආණ්ඩුව ඔහුට මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කොට ඒ මහතා මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ ලේකම්ලෙස පත් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකියි. මීට පෙර ගීතා කුමාරසිංහ හා ඩයනා ගමගේ මහත්මීන්ට මන්ත්‍රී ධූර හැර යාමට සිදුවූයේ ද මේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නය නිසයි.

දේශපාලන විචාරකයින් පවසන්නේ, හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ මේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නය නිසා බවයි. එහෙත් ද්විත්ව පුරවැසියකුට රජයේ තනතුරක් දැරීමට බාධාවක් නැති බැවින් ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරන්නට ඉඩ ඇති බවයි ඔවුන් සැක කරන්නේ.

බොරු කියන්නේ දයාසිරි ද නැතිනම් නලින්ද ද?

දයාසිරි ජයසේකර මහතා, හර්ෂණ සූරිප්පෙරුම මහතාගේ ස්ට්‍රේලියානු පුරවැසි භාවය ලැබූ සහතිකයේ අංකය ද ප්‍රකාශ කළා.

එහෙත් කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් මාධ්‍ය හමුවේ දී පැවසුවේ හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියකු නොවන බවයි.

දැන් විපක්ෂය හර්ෂණ සූරියප්පෙරුම මහතාට අභියෝග කරන්නේ ඔහු ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අත් හැරියේ නම් ඒ බව දැක්වෙන ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස යි.

මේ තත්වය යටතේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් හා භාණ්ඩාගාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැ යි ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.

මේ අතර මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ ලේකම් ධූරවලට පළපුරූදු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියකු පත් කරනා ලෙස ආණ්ඩුව ඇතුළෙන් ම ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වෙන බව ද දැන ගන්නට තිබෙනවා.

 - ජගත් -