උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

GPS+ කෙමින

ජගත් ගේ සතියේ සටහන -  131

83 කළු ජූලිය සහ 1988 – 1989 භීෂණ සමය ඉතිහාසයේ නොමැකෙන සළකුණු බවට පත්වී තිබෙන්නේ එය සෑම වසරකදී ම බොහෝ දෙනාට සිහිපත් වන නිසයි.

එහෙත් වසර 43 ක් ගතවී ඇති කළු ජූලියේ දී සිදුවූ මිනිස් ඝාතන සහ විනාශයන් පිළිබඳ ව පරීක්ෂණ පවත්වන ලෙස මෙරටේ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් හෝ ඉල්ලා සිටියේ නැහැ.

එම අවස්ථාවේ මෙරටේ සිටිලක්ෂ ගණනක් දෙමළ ජනතාව බටහිර තානාපති කාර්යාලවල සහායෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ස්ට්‍රේලියාව ආදී රටවලට ගියා. මේ වන විට ලෝකයේ බොහෝ රටවලප්‍රබල දෙමළ ඩයස්පෝරාවක් ක්‍රියාත්මක වන්නේ එම ජනයා නිසයි. දෙමළ ඩයස්පෝරාව පසුගිය යුද්ධය පැවති කාලයේ එල්ටීටීඊයට විශාල වශයෙන් මුදල්, අවි ආයුධ, බේත්හේත් වැනි පහසුකම් සැලසීම නිසා එම යුද්ධය පරාජය කිරීමට වසර 30 ක් ගතවුණා.

අඩෙක්කලාදන් ගේ පෞද්ගලික යෝජනාව 11 වැනිදා සාකච්ඡාවට!?

මේ කාලයේ 83 කළු ජූලියේ දී සිදුවූ ජීවිත හානි හා විනාශය ගැන පරීක්ෂණ පවත්වන ලෙස දෙමළ පක්ෂ ඉල්ලා නොසිටියේ යුද්ධය වෙනුවෙන් එල්ටීටීඊ යට ලැබුණු දෙමළ ඩයස්පෝරාවේ ආධාර නිසා බව පැහැදිලියි.
එහෙත් දැන් යුද්ධය අවසන් වී වසර 43ක් ගතවූ පසු දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වන ඒ. අඩෙක්කලාදන් මහතා 83 කළු ජූලියේ දී සිදුවූ ජීවිත හානි ඇතුළු විනාශයන් පිළිබඳවත් බෝගම්බර බන්ධනාගාරයේ දී දෙමළ රැඳවියන් සියයකට ආසන් න පිරිසක් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙනුත් විමර්ශනයක් කිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා.
මෙම යෝජනාව සැප්තැම්බර් මස 11 වැනිදා සාකච්ඡා කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට යි තිබෙන්නේ.
අඩෙක්කලාදන් මන්ත්‍රීවරයා මෙම යෝජනාව සැප්තැම්බර් මාසයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට තිබෙන්නේ එම මාසයේ ම පැවැත්වෙන ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරය ඉලක්ක කොට ගෙන යැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

උවිඳු විජේවීරට ආණ්ඩුවේ ප්‍රතිචාර කෙසේ වේවිද ?

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගේ පුත් උවිඳු විජේවීර ද 88 – 89 භීෂණ සමයේ දී සිය පියා ඇතුළු ක්‍රියාකාරීන් දහස් ගණනක් ඝාතනය කිරීම පිළිබඳව පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒ පිළිබඳ ලිපියක්  තවත් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලය වෙත ගිය උවිඳු විජේවීර එම ලිපිය ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරියකුට භාර දුන්නා.
මේ වන විට උවිඳු දෙවැනි පරපුර නමින් සංවිධානයක් පවත්වා ගෙන යන අතර ඔහුගේ මව වන චිත්‍රාංගනී විජේවීර හා සහෝදරියන් තවමත් ජීවත් වෙන්නේ වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ පිහිටි රජයෙන් ලබාදී ඇති නිවෙසක යි. විජේවීරගේ දියණියන් දෙදෙනකු විදෙස්ගතව සිටින අතර උවිඳු ජීවත්වන්නේ පිටස්තරව යි.
මේ අතර පක්ෂය විසින් රෝහණ විජේවීර හා ඔහුගේ බිරිඳ වන චිත්‍රාංගනී නම්වලට මිලදී ගෙන ඔවුන්ට ලබා දී තිබු උලපනේ පිහිටි වතුයාය හා බංගලාව යළිත් තමන්ට ලබා දෙන්නැයි චිත්‍රාංගනී විජේවීර මහත්මිය රජයෙන් ඉල්ලා ඇති බවත්, වාර්තා වෙනවා.
විජේවීර අත්අඩංගුවට පත්වීමෙන් පසු රා සන්තක කරනු ලැබු මෙම නිවසේ පසු කාලයක තරුණ පුහුණු මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගොස් තිබුණා.
තවත් ආරංචි මාර්ගයකින් වාර්තා වෙන්නේ මෙම නිවස හා ඉඩම පසුගිය ආණ්ඩුවක හුන් ඇමතිවරයකුගේ සහෝදරයකු විසින් අත්පත් කරගෙන පසුව විකුණා ඇති බව යි.
එහෙත් රාජසන්තක කළ දේපොළක් යළි පවරා දෙන්නේ නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුව ඇතැ යි නීතිවේදීන් පවසනවා.
කෙසේ වුවද 88 – 89 කාලයේ මරා දමනු ලැබූ අය පිළිබඳව තොරතුරු සෙවීම සඳහා විමර්ශන කොමිෂමක් පත්කරන ලෙසට උවිඳු විජේවීර ජනාධිපතිවරයාගෙන් කර ඇති ඉල්ලීම ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය කෙබඳු එකක් වේදැයි බොහෝ දෙනා බලා සිටිනවා.
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට අවුරුදු පතා ලබා දෙන GPS+ බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 දායින් අවසන් වීමට නියමිත යි.
මේ නිසා ලබන වසර සඳහා GPS+  බදු සහනය ඉල්ලා රජය විසින් යුරෝපා සංගමයට අයදුම් කිරීමට සිදුවෙනවා.
ඒ අනුව පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව සාකච්ඡා වුණා. ඒ සඳහා වන අයදුම් පත්‍රය සකස් කිරීමට මෙහිදී කැබිනට් ඇමතිවරුන් අට දෙනකුගෙන් ඇමති අනුකාරක සභාවක් පත් කොට තිබෙනවා. එහි මූලිකත්වය ගෙන කටයුතු කිරීම බාරවී තිබෙන්නේ වෙළඳ, වානිජ හා පාරිභෝගික කටයුතු ඇමති වසන්ත සමරසිංහ මහතාට යි.
GPS+ බදු සහනය නිසා ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරන භාණ්ඩ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 139 ක බදු සහනයක් ලැබී තිබුණා.
 GPS+ හා   LGBTQ
මෙම  GPS+ බදු සහනය යුරෝපා සංගමයෙන් නිකං ලැබෙන්නේ නෑ. ඒ සඳහා ඔවුන් විසින් ප්‍රකාශයට පත්කොට ඇතිකොන්දේසි 37 කට පමණ එකඟවිය යුතු වෙනවා.
ලබන වසර සඳහා  GPS+  බදු සහනය ඉල්ලන රටවලට පනවා ඇති කොන්දේසි අතර මරණීය දණ්ඩනය අහෝසි කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හා ජාතික හා ආගමික සුළුතරයන් මෙන් ම LGBTQ හෙවත් සමලිංගික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගැනීම යන කරුණු ප්‍රධාන තැනක් ගන්නවා.
දැනට ශ්‍රී ලංකාවේ නීතිය අනුව සමලිංගික ක්‍රියා අපරාධයක් ලෙස සළකා නීති මඟින් ක්‍රියා කළ හැකියි. එහෙත් යුරෝපා සංගම් කොන්දේසි අනුව සමලිංගික කටයුතු අපරාධයක් සේ සැළකෙන නීතිය ඉවත් කළ යුතු වෙනවා.
රජය දැනටමත් මරණ්‍යී දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ හැකි වන පරිදි නීති සම්පාදනය කරගෙන යන්නේ මේ එක් කොන්දේසියක් ඉටු කිරීමක් වශයෙනුයි.
එමෙන් ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතක් සකස් කොට ඇති අතර එය ගැසට් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමතිවරයාට බලය පැවරීමට පසුගිය සඳුදා පැවතිකැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය වී තිබෙනවා.
මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් පැනවීමේ නීතිය ගෙන ඒමට හා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරිමේ පනත් කෙටුම්පතට කෙසේ වෙතත් සමලිංගික ක්‍රියාවලට එරෙහි අපරාධ නීතිය ඉවත් කිරීමේ යෝජනාවට බලවත් විරෝධයක් එල්ල වනු ඇතැයි වාර්තා වෙනවා.
බෞද්ධ සංවිධාන මෙන් ම කතෝලික සභාව ද මෙයට දැඩි ලෙස විරුද්ධ වීමට ඉ‌ඩ ඇත්තේ මීට පෙර මැල්කම්කාදිනල් රංජිත් අගරදගුරු හිමියන් හා බෞද්ධ නායක නාහිමිවරුන් කර තිබු ප්‍රකාශවලින් පැහැදිලියි.
එමෙන් ම GPS+  බදු සහනය සඳහා ඉල්ලුම්පත සකස් කිරීමට පත්කොට ඇති කැබිනට් අනු කමිටුවට මේ ගැන අවදානය තදින් ම යොමු කිරීමට සිදුවනු ඇති.

                                         ආණ්ඩුවෙනුයි විපක්ෂයෙනුයි රැළි මාලාවක් අනුරපුරේ!

පාලක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවත්, සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්සැප්තැම්බර් මාසයේ අනුරාධපුරයේ දැවැන්ත මහජන රැළි ගණනාවක් පැවැත්විමට යන බව වාර්තා වෙනවා.
ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා රැස්වීම් මාලාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් රටපුරා පැවැත්වීමට ජාතික ජන බලවේගය තීරණය කොට ඇති අතර එහි මංගල රැළිය සැප්තැම්බර් 13 වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වීමට යි කටයුතු යොදා තිබෙන්නේ.
සමගි ජන බලවේගය සැප්තැම්බර් 22 හා 23 යන දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාසවල ඡන්ද පොළ මට්ටමේ රැස්වීම් සිය ගණනක් පැවැත්වීමට තීරණය කොට ඇතැ යි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් සැප්තැම්බර් 12 දා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී විශාල රැළියක් පැවැත්වීමට  යන බව ද වාර්තා වෙනවා.

 - ජගත් -