ව්‍යාපාරික

Hitflix මඟින් ලෝ ප්‍රකට සේවා හරහා ශ්‍රී ලාංකික රූපවාහිනී වැඩසටහන් නැරඹීමේ අවස්ථාව

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL නව පියවරක් තබමින් HitFlix නමින් නවතම නාළිකාවක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලාංකික නාළිකාවක් වන මෙය මින් ඉදිරියට සුප්‍රකට ජාත්‍යන්තර Over-the-Top (OTT) සේවා හරහා නැරඹීමට හැකි වනු ඇත.

විවිධ කාණ්ඩවලට අයත් ආකර්ෂණීය රූපවාහිනී වැඩසටහන් HitFlix මඟින් විකාශය කිරීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි. මෙමඟින් Apple TV Plus, Fire TV, iOS, Android සහ ROKU TV වැනි සේවා ඔස්සේ ශ්‍රී ලාංකික වැඩසටහන් නැරඹීමට ලොව පුරා වෙසෙන ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

තවද මෙමඟින් ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම උපන් බිමේ සංස්කෘතිය හා සම්ප්‍රදාය මූලික කරගත් රූපවාහිනී වැඩසටහන් නැරඹීමට අවස්ථාව සලසන අතරම, අතිශයින්ම ශ්‍රී ලාංකික අත්දැකීමක් තුළින් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගැනීම මෙම පුරෝගාමී ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වී තිබේ

මෙය එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව ශක්තිමත්කරන පියවරක් වනු ඇතැයි SLT-MOBITEL විශ්වාස කරයි. එමෙන්ම එය ශ්‍රී ලාංකික සංස්කෘතිය හා සම්ප්‍රදාය සම්බන්ධ වැදගත් තොරතුරු විදේශිකයන් වෙත සමීප කරවීමටද සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ඇත. මසකට අ‍ෙමරිකානු ඩොලර් 3 ක් වැනි සහනදායි ගාස්තුවක් යටතේ HitFlix නාළිකාව නැරඹිය හැකි වේ. ආගමික වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන්, ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් වැනි විවිධ වැඩසටහන් HitFlix ඔස්සේ විකාශය වනු ඇත.

South Asian Technology (පුද්.) සමාගමට අනුබද්ධ The Connection Workshop සමඟ එක් වී HitFlix නාළිකාව නිර්මාණය කර තිබේ.